චිලී ජනාධිපති සෙබස්තියන් පිනෙරා ඊයේ (12දා) සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නතෙහි දෙවැනි මාත්‍රාවද ලබාගෙන තිබේ.
"වසංගතයට එරෙහි සටනේදී අපට විශාල මෙවලම් දෙකක්, විශාල සගයන් දෙදෙනෙක් සිටිනවා. එකක් මේ එන්නත සහ අනෙක වසංගතය හමුවේ ඔබ (ජනතාව) ඔබ ගැනම දක්වන සැලකිලිමත් බව" යැයි ජනාධිපතිවරයා සන්තියාගෝ අගනුවර චිලී ගුවන් හමුදා සායනික රෝහලදී එන්නත ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
දකුණු චිලියේ ලොස් රියෝස් ප්‍රදේශයේ ෆුට්රොනෝ නම් නගරයේදී පසුගිය පෙබරවාරි 12 වැනි දින පිනෙරාට පළමු එන්නත් මාත්‍රාව ලැබුණි.
චිලියේ එන්නත් කිරීමේ ක්‍රියාවලිය ඉතා හොඳින් සිදුවී ඇති අතර, මේ වනවිට චිලී ජාතිකයින් මිලියන 4.6ක් එන්නත් ලබාගෙන ඇති අතර, මිලියන 1.5ක් දෙවැනි මාත්‍රාවද ලබාගෙන ඇති බව පිනෙරා පවසයි.
"මිලියන 5ක ජනතාවකට එන්නත ලබාදීමේ ඉලක්කය කරා ළඟා වීමට අපි ඉතා සමීපව සිටිනවා. ජනගහනයෙන් අවදානමට ලක්ව ඇති වැඩිහිටියන්, නිදන්ගත රෝගීන්, සෞඛ්‍ය වෘත්තිකයන් හා අපගේ සියලු සෙබලුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම කරා ගමන් කිරීමට හැකිවෙනවා." ඔහු තවදුරටත් පැවසීය.
පසුගිය වසරේ දෙසැම්බරයේ සෞඛ්‍ය සේවකයන්ට පළමු වරට එන්නත ලබාදීමෙන් පසුව, චිලී රාජ්‍යය 2021 පෙබරවාරි 3 වැනි දින මහා එන්නත්කරණ වැඩසටහන දියත් කළේය. වසරේ පළමු කාර්තුවේදී මිලියන 5කට සහ වසර මැද භාගය වනවිට මිලියන 15කට එන්නත් ලබාදීමට සැලසුම් කර ඇත.
වසංගතය ආරම්භයේ සිටම දකුණු ඇමරිකානු රට තුළ කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 9කට ආසන්න පිරිසක් වාර්තා වන අතර, 21,450ක් ඉක්මවා මියගොස් ඇති බව චිලී සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.