චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඇ.ඩො.මිලියන 1,000 සඳහා පමණක්, පසුගිය බදාදා සිට ඊයේ (22දා) දක්වා දින 5 තුළ ණය පියවීමට ගෙවිය යුතු මුදල් ප්රමාණය රු.මිලියන 1,100කින් වැඩි වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා සිටියේය.
රජය මෑතකදී ලබාගත් ඇ.ඩො.මිලියන 1,000ක විදේශ විනිමය ණය පහසුකම හා දිගින් දිගටම අවප්රමාණය වන රුපියල සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අධිපතවරයා මෙම කරුණු අනාවරණය කළේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අධිපතිවරයා,
"විදේශ විනිමය නිශ්චිත කාලසීමාවක ණයක් (foreign currency term financing facility) හරහා, චීන සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො.මිලියන 1,000ක ණය මුදලක් 2018 ඔක්තෝබර් 17 වැනිදා රජයට ලබාගන්නට හැකි වූ බව මහ බැංකුව ඉතා ආඩම්බරයෙන් නිවේදනයක් නිකුත් කළා. එම ණය සඳහා පොලී අනුපාතය නිශ්චිතව සඳහන් කර නොතිබූ අතර, එම අනුපාතය දක්වා තිබුනේ ඇමෙරිකානු ඩොලර් Libor මාස 6 අනුපාතයට 'සම්බන්ධ' (linked) බව පමණයි.
එම ප්රකාශනයේම මහ බැංකුව තවදුරටත් කියා තිබුණේ, විදේශ විනිමය එලෙස රට තුළට ගලා ඒම නිසා, රටේ නිල විදේශ සංචිත ඇ.ඩො.මිලියන 1,000කින් වැඩි වූ බවයි.
මෙකී ප්රකාශනය කිරීමට මූලික හේතුව, ආයෝජකයන් අතර විශ්වාසය ගොඩ නැංවීම හරහා රුපියලේ අගය රැකගැනීම යැයි නිගමනයක් කළ හැකි වුවත්, ඔක්තෝබර් 17 වැනිදා මෙම නිවේදනයෙන් පසුව, එදින උදෑසන පැවති ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂ රුපියලේ අගය වූ 172.28, ඔක්තෝබර් 22 වැනිදා (ඊයේ) වනවිට 173.38 දක්වා රු.1.10කින් අවප්රමාණය වී තිබෙනවා. මෙයින් පෙනී යන්නේ, රජය ගෙන ඇති මෙම විදේශීය ණය වන ඇ.ඩො.මිලියන 1,000 සඳහා පමණක්, පසුගිය බදාදා සිට ඊයේ දක්වා දින 5ක් තුළ, ණය පියවීමට ගෙවිය යුතු මුදල් ප්රමාණය රු.මිලියන 1,100කින් වැඩි වී ඇති බවයි.
රුපියල දරුණු ලෙස කඩා වැටෙමින් පවතින මෙවැනි කාලයකදී ශ්රී ලංකා ආර්ථිකය මෙලෙස ප්රපාතයට හෙළන මෙවැනි තීරණ සඳහා වගකීම ගන්නේ කවුරුන්ද යන්න ප්රශ්නයක්" යැයි පවසා සිටියේය.