කොවිඩ්-19 වසංගතය හමුවේ ඉන්දියාව දැඩි බලපෑමකට නතුව පවතින වටපිටාවක ආසියාවේ බලවත්ම රාජ්‍ය මෙන්ම, මේ වනවිට ලෝක බලවතා ලෙසද නැගීඑන චීනයේ ජනාධිපති ෂී ජින්පිං විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත විශේෂ පණිවුඩයක් යවා ඇති බව කියයි.
සිය විශේෂ පණිවුඩය ආරම්භ කරමින් චීන නායකයා විසින් චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් මෙන්ම, ඔහුගේ නමින්ද, ඉන්දීය රජය සහ ඉන්දියාවේ ජනතාවට අවංක සහයෝගය නැවත අවධාරණය කරමින්, මේ අතිශය ඛේදජනක අවස්ථාවේදී සිය දයානුකම්පාව පළ කර තිබේ.
එසේම, චීන නායකයා විසින් ඉන්දියාව වෙත වෛද්‍ය ආධාර ලබාදීමට සූදානම් බවද පවසා ඇත්තේ, සියලු මනුෂ්‍ය වර්ගයාගේ ඉරණම සමීපව බැඳී ඇති බැවින්, වසංගතය පරාජය කිරීමට ඇති එකම මාර්ගය ගෝලීය සහයෝගීතාව බවද අවධාරණය කරමිනි.
මේ තත්ත්වය තුළ ඉන්දියාව සමග කොවිඩ්-19 වෛරසයට එරෙහිව සහයෝගීතාව වැඩි දියුණු කිරීමට චීනය සූදානම් බවත්, ඉන්දීය පාර්ශ්වයට අවශ්‍ය සහාය හා උදව් ලබාදීමට සූදානම් බවත් ෂී ජින්පිං, මෝදිට මෙම පණිවුඩයෙන් සහතික වී තිබේ.
විශේෂයෙන්ම, කොවිඩ්-19 වෛරසයට එරෙහි සටන ජය ගැනීමට ඉන්දීය රජයේ නායකත්වය යටතේ ඉන්දියාවේ ජනතාවට හැකියාව ඇති බව ෂී සිය විශ්වාසයද පළ කර ඇත.