එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් යළිත් චීනයේ ප්‍රතිචාරය දැඩිව විවේචනය කරමින් ට්විටර් පණිවුඩ නිකුත් කර තිබේ.
"ඒ සියල්ල පැමිණියේ ඉහළින්. ඔවුන්ට පහසුවෙන් වසංගතය නැවැත්විය හැකිව තිබුණා. නමුත් ඔවුන් එසේ කළේ නැහැ!"
කෙසේ වෙතත් ඇමෙරිකානු නායකයා මෙහිදී චීන ජනපති ෂී ජින්පිං ඉලක්ක කරමින්, "ඒ සියල්ල පැමිණියේ ඉහළින්" යනුවෙන් ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබුණද, ඔහු මේ දක්වා චීනය විවේචනය කළද චීන නායකයාගේ නම කිසිම අවස්ථාවක සඳහන් නොකිරීමද විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය පවසයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩවල වැඩිදුරටත් දැක්වෙන්නේ මෙසේය.
"ප්‍රකාශකයා චීනය වෙනුවෙන් මෝඩ ලෙස කථා කරනවා. ඔවුන්ගේ රට ලොව පුරා පැතිරී ඇති වේදනාව සහ සංහාරය වෙනතකට හැරවීමට ඉතා දරුණු ලෙස උත්සාහ කරනවා. ඔවුන්ගේ වැරදි තොරතුරු සහ ප්රචාරක ව්‍යාපාරයේ ප්රහාරයන් එක්සත් ජනපදයට හා යුරෝපයට අපකීර්තියක්."
ට්‍රම්ප් පසුව වඩාත් හුරුපුරුදු ප්‍රකාශයන් වෙත යොමු වන්නේ 2020 එක්සත් ජනපද ජනාධිපතිවරණයද ඈඳා ගනිමිනි. එහිදී මෙවර මැතිවරණයෙන් චීනයට ඩිමොක්රටික් ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය අවශ්‍යව ඇති බවත්, ඔහු බීජිං පාලනය සම්බන්ධයෙන් තමා තරම් දැඩි නොවීම ඊට හේතුව බවත් තවත් ට්විටර් පණිවුඩයකින් සඳහන් කරයි.
"චීනය දැවැන්ත සාවද්‍ය තොරතුරු ප්රචාරක ව්‍යාපාරයක යෙදී සිටින්නේ ඔවුන්ට නිද්‍රාශීලී ජෝ බයිඩන් මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවීමට දැඩි අවශ්‍යතාවක් පවතින නිසයි. මා බලයට පැමිණෙන තෙක්ම දශක ගණනාවක් පුරා ඔවුන් සිදුකළ පරිද්දෙන්ම, එක්සත් ජනපදය යළිත් සූරා කෑමට එවිට ඔවුන්ට හැකිවේවි."