වසර පහකට ආසන්න කාලයක් තුළ චීනය ගගනගාමීන් පිරිසක් රැගත් පළමු වැනි මෙහෙයුමේදී හෙට (17දා) චීන ජාතිකයන් තිදෙනෙකු පෘථිවි කක්ක්ෂය වෙත රැගෙන යනු ලබන්නේ, එලැඹෙන වසර අවසන් වනවිට චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිම කිරීමේ අභිලාෂකාමී සැලැස්මේ කොටසක් ලෙසිනි.
චීනයේ ෂෙන්ෂෝ-12 අභ්‍යවකාශ යානයෙන් හෙට උදෑසන 9.22ට වයඹදිග ගන්සු පළාතේ ජියුවාන් හිදී ඔවුන් පෘථිවි කක්ෂය බලා ගමන් අරඹන බව චීන අභ්‍යවකාශ ඒජන්සියේ නිලධාරියෙක් පැවසීය.
මෙම මෙහෙයුමට එක්වන ගගනගාමීන් වන්නේ 56 හැවිරිදි නී හයිෂෙන්ග්, 54 හැවිරිදි ලියු බෝමිං සහ 45 හැවිරිදි ටැන්ග් හොංබෝ බව ජියුවාන් හි පැවති මාධ්‍ය හමුවකදී චීන අභ්‍යවකාශ ඒජන්සියේ සහකාර අධ්යක්ෂ ජි කිමිං පැවසුවේය.
මධ්‍යම හුබෙයි පළාතේ පදිංචිකරුවෙකු සහ හිටපු ගුවන් හමුදා නියමුවෙකු වන නී මෙහෙයුමට නායකත්වය දෙනු ඇත. ඔහු අභ්‍යවකාශයට ගිය වයස්ගතම චීන ගගනගාමියාද වනු ඇත.
2022 අවසන් වනවිට චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිම කිරීම සඳහා අවශ්‍ය මෙහෙයුම් 11න් තෙවැනි මෙහෙයුමට සම්බන්ධ වන්නේ "දිව්‍යමය යාත්‍රාව" හෙවත් ෂෙන්ෂෝ -12 අභ්‍යවකාශ යානයයි. මොඩියුල තුනෙන් පළමු හා විශාලතම මොඩියුලය වන ටියැන්හේ දියත් කිරීමත් සමග චීනය අප්‍රේල් මාසයේදී අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම ආරම්භ කළේය. .
ඒ අනුව ෂෙන්ෂෝ-12 කාර්ය මණ්ඩලය ටියැන්හේ හි මාස තුනක කාලයක් නැවතී සිටීමට නියමිතය. ටියැන්හේ යන්නෙහි අර්ථය "ස්වර්ගයේ නිදහස" යන්නයි. එය මීටර් 16.6 (අඩි 55) දිග සහ මීටර් 4.2 (අඩි 14) විෂ්කම්භය වෙයි.
2005 දී ෂෙන්ෂෝ-6 මෙහෙයුමෙන් සහ 2013දී ෂෙන්ෂෝ-10 මෙහෙයුමෙන් පසුව ගගනගාමී නී සම්බන්ධ වන ෂෙන්ෂෝ-12 ඔහුගේ තෙවැනි අභ්‍යවකාශ ගමනයි. එය ගගනගාමී ලියුගේ දෙවැනි සංචාරය මෙන්ම, ටැන්ග්ගේ පළමු වැනි සංචාරයයි.
ඇමෙරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාවෙන්ම චීනය සමග කිසිදු අභ්‍යවකාශ සහයෝගීතාවකට නාසා ආයතනයට ඉඩ නොතබා ඇති නිසා, දශක දෙකකට වඩා පැරණි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ලොව බොහෝ රටවලින් ගගනගාමීන් පැමිණ තිබුණද, චීන ගගනගාමීන්ට එය තහනම් කලාපයක් විය. කෙසේ වෙතත් එම මධ්‍යස්ථානයට 2024 දී අරමුදල් නොලැබුණහොත්, චීනය පෘථිවි කක්ෂයේ ඇති එකම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ක්‍රියාකරු බවට පත්විය හැකිය.
"චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිම කිරීමෙන් පසු නුදුරු අනාගතයේදී චීන හා විදේශීය ගගනගාමීන් එක්ව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සංචාරයන්ට සහභාගී වන අයුරු අපට දැකගත හැකිවේවි" සහකාර අධ්යක්ෂ ජි කිමිං වැඩිදුරටත් පැවසීය.