බ්‍රිතාන්‍ය තුළ ව්‍යාප්ත වූ නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාමත් දරුණු ලෙස ජනතාව මිය ගියේ චීනය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාව මුදලට ගැනීම නිසා බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ පවසයි.
පසුගියදා ඔහු බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍ය ඩොමිනිට් රාබ් ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග පැවැත් වූ පෞද්ගලික හමුවකදී මේ බව පවසා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් සිය ධුරය ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාගැනීම වෙනුවෙන් චීනය සමග මෙලෙස කටයුතු කර ඇති බවද පොම්පිඕ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
"ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ සම්පූර්ණයෙන්ම දේශපාලනික සංවිධානයක්. එය කිසිලෙසකින්වත් විද්‍යාව පදනම් කරගත් සංවිධානයක් නෙමෙයි. මම අපේ විශේෂඥයන් සමග කතා කළා. මම කියන කාරණාවට අදාළ දේවල් මොනවාද යන්න ඔවුන් ඔබට පවසාවි." පොම්පිඕ මෙහිදී පවසා තිබේ.
"මට මේ ගැන තවදුරටත් කියන්න බැහැ. ඒත් මට කියන්න පුළුවන්, මම මේ දේවල් කියන්නේ ස්ථිර බුද්ධි තොරතුරු පදනම් කරගෙනයි. මෙතැනද ගනුදෙනුවක් සිදුවුණා. අන්තිමේදී බ්‍රිතාන්‍යයන් මරණයට පත්වුණා. ඒකට මූලිකවම හේතු වුණේ මේ ගනුදෙනුවයි." පොම්පිඕ වැඩිදුරටත් පවසා තිබේ.
ඇමෙරිකාව නව කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හා චීනය වෙත ඇඟිල්ල දිගු කරන ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, මීට පෙර ඇමෙරිකානු ජනාධිපතිවරයාද මෙය චීන වෛරසය ලෙස හඳුන්වමින්, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්ව එහි අරමුදල් ඉවත්කර ගැනීමේ ක්‍රියාවලියට මුල පුරා ඇත්තේද මෙවැනි පසුබිමකය. මීට සමගාමීව බ්රිතන්යයද පසුගියදා චීනයේ හුවාවේ සමාගමේ 5G සේවා ලබාගැනීම අත්හිටුවීය.