චීනය ලෝකය මවිතයට පත් කරමින්, වර්ෂ 2060 සැප්තැම්බර් මාසය වනවිට කාබන්වලින් සම්පූර්ණයෙන්ම තොරවීමේ ඉලක්කයක් ප්‍රකාශයට පත්කළ අතර, දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා තවත් නව ක්‍රියාමාර්ග ඉදිරිපත් කරමින්, සහයෝගීතාව හා විශ්වාසය මේ සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකරන බවද අවධාරණය කළේය.
2015 පැරිස් දේශගුණික ප්රඥප්තියේ පස්වැනි සංවත්සරය පිළිගනිමින්, ලෝක නායකයින් 70කට වැඩි පිරිසක් සහභාගී වූ එක්දින අතථ්‍ය දේශගුණික සමුළුවක් අමතමින් චීන ජනාධිපති ෂී ජින්පිං මෙම කරුණු අනාවරණය කළේය.
දේශගුණික අභියෝගයට මුහුණදීමේදී කිසිවෙකුවත් පැත්තකට වී හෝ ඒකපාර්ශ්වීය ලෙස කටයුතු කිරීමෙන් ලෝකයට කිසිවක් නොලැබෙන බවද චීන නායකයා සමුළුවේදී අවධාරණය කළේය.
කොවිඩ්-19 වසංගතයේ පළමු මාස හය තුළ ලොවට ආපදා 100කට අධික සංඛ්‍යාවක් බලපෑ අතර, මිලියන 50කට අධික ජනතාවක් පීඩාවට පත් වූ බව 'Come Heat or High Water' වාර්තාව පෙන්වා දෙයි. 2019 දී පමණක් ලොව පුරා ස්වාභාවික විපත් 308ක් සිදුවී ඇති අතර එයින් 24,400ක් පමණ මිය ගියහ. මෙම ව්‍යසනයන්ගෙන් 77%ක් පමණ කාලගුණය හෝ දේශගුණය හා සම්බන්ධ වේ.
"සියළුම රටවල් තම ජාතික තත්ත්වයන් හා හැකියාවන් සැලකිල්ලට ගනිමින් උපරිම ලෙස ක්‍රියා කළ යුතුයි" සංවර්ධිත රටවලින් චීන ජනපති ෂී ඉල්ලා සිටියේ, මේ වෙනුවෙන් මූල්‍ය, තාක්ෂණය සහ ධාරිතා වර්ධනය සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට සහයෝගය ලබාදෙන ලෙසය.
"බහුපාර්ශ්වීයත්වය, එකමුතුකම සහ සහයෝගීතාව තහවුරු කිරීමෙන් පමණක් අපට හවුල් ප්රතිලාභ ලබාදිය හැකි අතර, සියලු ජාතීන්ට ජයග්‍රහණය ලබාගත හැකියි." යනුවෙන් චීන නායකයා වැඩිදුරටත් කියා සිටියේය.
එසේම මෙම සමුළුවේදී වර්ෂ 2030 වනවිට චීනය ළඟාකර ගැනීමට බලාපොරොත්තු වන ඉලක්ක කිහිපයක් ගැනද චීන නායකයා කරුණු ඉදිරිපත් කළේය. චීනයේ, දළ දේශීය නිෂ්පාදිතයේ ඒකකයකට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය 2005 මට්ටමට වඩා 65%කින් අඩු කිරීම, ප්‍රාථමික බලශක්ති පරිභෝජනයේ පොසිල නොවන ඉන්ධන ප්‍රමාණය 25%ක් දක්වා වැඩි කිරීම, වනාන්තර පරිමාව ඝන මීටර බිලියන 6කින් වැඩි කිරීම, 2005 මට්ටමේ සිට සුළං හා සූර්ය බලශක්තියේ මුළු ධාරිතාව කිලෝවොට් බිලියන 1.2ක් ඉක්මවා ගෙනඒම ඒ අතර වෙයි.
ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය ලෙස චීනය ආර්ථික වර්ධනය හා පාරිසරික ආරක්ෂාව සම්බන්ධීකරණය කිරීමට උත්සාහ කරන අතර, දේශගුණික විපර්යාසයන්ට එරෙහි ගෝලීය අරගලයක යෙදෙමින් ලබන වසරේ සිට පාරිසරික ශිෂ්ටාචාරයක් ගොඩනැගීමටත්, භෞමික අවකාශයේ සංවර්ධනය හා ආරක්ෂාව ප්රශස්ත කිරීමටත්, නිෂ්පාදන හා ජීවන රටාව හරිත ලෙස පරිවර්තනය කිරීමෙහිලා කැපී පෙනෙන ප්‍රතිඵල ලබාගැනීමටත් උත්සාහ කරන බව කියයි. ඔවුන්ගේ මෙම ඉලක්කගත සැලසුම් කාලය 2021-2025 දක්වා දිවෙයි.