එක්සත් ජනපදය චීනය සමග ගැටුමක් ඇතිකර ගැනීමට සූදානම් නොමැති නමුත්, දැඩි තරගයකට සූදානම් බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසයි. එසේම චීනයේ අභිලාෂය ලෝකයේ බලවත්ම රට බවට පත්වීම බව තමා විශ්වාස කරන බව පැවසූ බයිඩන්, එය නතර කිරීමට තමා ප්‍රතිඥා දී ඇති බවද කීවේය.
සිය ප්‍රථම ධවල මන්දිර ප්රවෘත්ති සාකච්ඡාවේදී බයිඩන් කියා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු තමා සහ චීනයේ ජනාධිපති ෂී ජින්පිං පැය දෙකකට ආසන්න කාලයක් කතාබහ කළ බවයි.
චීනයේ ඉලක්කය වන්නේ "ලෝකයේ ප්රමුඛ රට, ලෝකයේ ධනවත්ම රට සහ ලෝකයේ බලවත්ම රට බවට පත්වීමයි" යනුවෙන් බයිඩන් පැවසීය: "එය මා යටතේ නම් සිදුවන්නට දෙන්නේ නැහැ."
කෙසේ වෙතත් මේ මස මුලදී, චීනය, යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය අතර ඇති සම්බන්ධතාව ගැන අදහස් දක්වමින් යුරෝපා සංගමයේ චීන තානාපති ෂැං මින්ග් සඳහන් කළේ, "අපේ අවශ්‍යතාව දරිද්‍රතාව තුරන් කිරීම පමණයි. බිලියන 1.4ක් වන චීන ජනතාව වඩා හොඳ ජීවිතයක් ලබාදීම සඳහා තවත් බොහෝ දේ කළ යුතුව තිබෙනවා. චීනය කිසිවකුගේ ප්‍රතිවාදියා වීමට කාලය හා ශක්තිය හෝ උනන්දුවක් දක්වන්නේ නැහැ." යනුවෙනි.
චීනය කෙරෙහි තමාගේම ආකල්පය ගැන විමසූ විට ජනාධිපති බයිඩන් කියා සිටියේ උප ජනාධිපති ධුරයේ සිටම තමා ජනපති ෂී ජින්පිං හොඳින් දන්නා බවත් එක්සත් ජනපදයට ගැටුමක් අපේක්ෂා නොකරන නමුත්, චීනය සමග දැඩි තරගයකට සූදානම් බවයි.