චීනයේ සිනෝෆාම් විසින් නිපදවන ලද කොවිඩ්-19 එන්නත ඊජිප්තුව වෙත ලැබී ඇති අතර, එය නොබෝ දිනකින්ම ඊජිප්තුව තුළ බෙදාහැරීම අරඹන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.
මෙම එන්නත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට කයිරෝ ගුවන් තොටුපළට පැමිණ ඇති අතර, මෙම එන්නත තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම් සිදුකර ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය සෞඛ්‍ය අමාත්‍යංශය මේ සතියේ කියා සිටියේ, සිනෝෆාම් එන්නත 86%ක කාර්යක්ෂමතාවක් ඇති බවය. එමෙන්ම එරට තුළද එන්නත ලබාදීම මේ වනවිට සිදුවෙයි.
මෙම එන්නත දැනටමත් චීනයේ මිලියනයක පමණ ජනතාවකට හදිසි වැඩසටහනක් සඳහා භාවිත කර ඇත.
ඊජිප්තුවේ තුළ දින 21ක් තුළ එන්නත් මාත්‍රා 2ක් ලෙස සිනෝෆාම් එන්නත නොමිලේ ලබාදෙන අතර, මුලින්ම එරට වෛද්‍ය කාර්ය මණ්ඩලයට සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ට එන්නත ලබාදීමට රජය ප්‍රමුඛත්වය දෙනු ඇතැයි සෞඛ්‍ය නිලධාරීන් පවසයි.
ඊජිප්තුවේ එන්නත කොපමණ මාත්‍රාවක් ඇණවුම් කර ඇත්ද යන්න පැහැදිලි නැති නමුත් එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි දිනවලදී තවත් නැව්ගත කිරීම් සිදුවන බවය.
මිලියන 100කට වඩා වැඩි ජනගහනයක් සිටින ඊජිප්තුව පසුගිය සැප්තැම්බර් මාසයේදී රුසියාවේ ස්පුට්නික් වී එන්නත් මාත්‍රා මිලියන 25ක් ලබාගැනීමේ ගිවිසුමකටද එක්විය.