චීනයේ මාරාන්තික කොරෝනා වසංගතය නිසා වූහාන් නගරයෙහි දැනට කොටු වි සිටින ශ්‍රී ලාංකික සිසුන් අතරින් ඇතැම් පිරිසකට , තමන් රැස් කර තබා ගත් ආහාර සංචිත අවසන් වෙමින් පවතින හෙයින් , එම ආහාර ද්‍රව්‍ය සහ අවශ්‍ය විටමින් වර්ග ඔවුන් වෙත අඛණ්ඩව සැපයීම සදහා ශ්‍රී ලංකා රජය පියවර ගනිමින් සිටින බව ජනාධිපති විදේශ කටයුතු අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය .
වූහාන් හි ඔවුන් ඉගෙනුම ලබන විශ්ව විද්‍යාල සහ ඔවුන් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාර වලින් එම සිසුන්ට පිසූ ආහාර ලබා දෙන බවත් , එහෙත් එම සිසුන් මෙම ආහාර මගින් මෙම රෝගය තමන් වෙත ද වැළදීම සිදු විය හැකි යැයි සිතා , එම ආහාර ලබා ගැනීමට අකමැත්තක් දක්වන බවද ලේකම්වරයා පැවසීය .
මෙම සිසුන්ට අවශ්‍ය ආහාර , විටමින් ලබාදීම පිළිබඳව මෙන්ම , මෙම සිසුන් පිරිස කඩිනමින් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම සදහා චීන රජය මෙන්ම හූබෙයි ප්‍රාන්ත රාජ්‍ය බලධාරීන් සමඟද ශ්‍රී ලංකා රජය මෙන්ම චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද නිරන්තරයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය .
මේ අතර ඊයේ (29) දින රාත්‍රී 6.10 ට කුංමිං සිට එම්.යූ.- 713 දරන ගුවන් යානය සහ රාත්‍රි 6.28 ට ෂ්රැංහයි සිට එම්.යූ.- 231 දරන චයිනා ඊස්ටන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් පැමිණ තිබේ .
ඊට අමතරව එදිනම රාත්‍රි 9.10 ට චොංකිං සිට චොංකිං ගුවන් සේවයේ ඕ.කිව්.- 2393 දරන ගුවන් යානය ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර , එම ගුවන් යානා වල ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනෙකු පැමිණ තිබේ .
ඊට අමතරව අද (30) දින අලුයම චීනයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකින් ද තවත් ශ්‍රී ලාංකික සිසුන් 110 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් අද දින අලුයම 5.10 ට ෂ්රැංහයි සිට පැමිණි යූ.එල්.- 867 දරන ගුවන් යානයෙන් ද , අලුයම 5.50 ට බෙයිජිං සිට පැමිණි යූ.එල්.- 869 දරන ගුවන් යානයෙන් ද , ග්වැන්ෂෝ සිට අලුයම 6.10 ට පැමිණි යූ.එල්.- 885 දරන ගුවන් යානයෙන් ද මෙම සිසුන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඒ අනුව චීනයේ සිට ශ්‍රී ලාංකික සිසුන් 140 කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර , ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් වෙත යැවිමට පියවර ගෙන තිබුණි .
එහෙත් ඔවුන්ට මෙම වෛරස රෝගී ලක්ෂණ පහළ වුවහොත් , වහාම ළඟම ඇති රෝහල වෙත ගොස් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසද ඔවුන්ට ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් උපදෙස් දී තිබුණි.