සර්බියාව විසින් සීනෝෆාම් කොවිඩ්-19 එන්නත ලබාදීම ආරම්භ කිරීමත් සමග චීනයේ සැලසුම් කරන ලද, අත්හදා බැලූ සහ නිෂ්පාදනය කරන ලද එන්නතක් භාවිත කළ යුරෝපයේ පළමු වැනි රට බවට එරට පත්ව තිබේ.
පසුගිය සතියේ සර්බියාවට සීනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් ලැබුණු අතර, දැන් ඒවා සෞඛ්‍ය සේවකයන්, පොලිස් නිලධාරීන්, ගුරුවරුන් සහ හමුදා සොල්දාදුවන් ඇතුළු ඉදිරි පෙළ වෘත්තිකයන් වෙත ලබාදෙනු ඇත. බෙල්ග්‍රේඩ් සහ බීජිං සමීප සබඳතා පවත්වා ගෙන යන අතර, චීන සමාගම් සර්බියාවේ යටිතල පහසුකම් සහ බලශක්ති ව්‍යාපෘති සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කර ඇත.
සර්බියාවේ සෞඛ්‍ය අමාත්‍ය ස්ලැටිබෝර් ලොනාර් යුරෝපයේ සිනොෆාම් එන්නත ලබාගත් පළමු පුද්ගලයා විය. ඒ රටේ ඖෂධ ඒජන්සිය විසින් සීනෝෆාම් එන්නත විශාල වශයෙන් භාවිත කිරීම සඳහා අවසරය නිකුත් කර පැය කිහිපයකට පසුවය.
"මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස සර්බියානු පුරවැසියන්ට පණිවිඩයක් යැවීමට මම කැමතියි. මේ වන විට අපට කොරෝනා වෛරසය පරාජය කිරීමට අවස්ථාව තිබෙනවා. එසේ කළ හැකි එකම ක්‍රමය වන්නේ එන්නත ලබා ගැනීම සහ රෝගාතුර වීම වළක්වා ගැනීමයි" ප්‍රසිද්ධියේ එන්නත ලබාගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මේ අතර ආරක්ෂක ඇමති නෙබොජ්සා ස්ටෙෆනොවිච් කියා සිටියේ තමා ඇතුළු හමුදා සාමාජිකයින් 700 කට වැඩි පිරිසකට එන්නත ලබා දී ඇති බවයි.
"මම සම්පූර්ණයෙන්ම විශ්වාස කරන චීන එන්නත මේ වනවිට මට එන්නත් කර තිබෙනවා. අපගේ හමුදාවලට ඒ එන්නත ලබාදෙනවා" ඔහු වාර්තාකරුවන්ට පැවසීය.