ජාත්‍යන්තර වෙළෙඳ පොළේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ ගියද රටේ ජනතාවට බර පටවමින් ගෑස් මිල වැඩි කිරීමට ඉඩදිය නොහැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (18දා) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී ලිට්රෝ ගෑස් සමාගමේ නිලධාරීන් හා පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් හමුවී සිදුකළ සාකච්ඡාවේදීය.
මෙහිදී ගෑස් සැපයුම්කරුවන් සඳහන් කර සිටියේ දැනට ක්‍රියාත්මක ගෑස්මිල ක්‍රම‘වේදය පිළිබඳව තමන් එකඟ වන බවයි. නමුත් ගෑස් මිලට බලපාන එක් සාධකයක් වන ප්‍රවාහන වියදම තමන්ට ගැටලුවක් බවත්, අඛණ්ඩව ඩීසල් මිල වැඩි වීම ඉහත සඳහන් ගෑස් මිල ක්‍රමවේදයට ගැටලුවක් වී ඇති බවත් ඔවුහු සඳහන් කළේය. එම නිසා ගෑස් මිල තීරණ ක්‍රමවේදයට, ගෑස් ප්‍රවාහනය ආශ්රිත වියදම්ද ඇතුළත් කර ගාස්තු තීරණයක් ලබාදෙන මෙන් ගෑස් සැපයුම්කරුවන් මෙහිදී ඉල්ලා සිටියහ.
දැනට ලංකාවේ පවතින ගෑස් සැපයුම්කාර සමාගම් දෙක පාරිභෝගික කටයුතු අධිකාරිය නියම කළ මිල ක්‍රමවේදය අනුගමනය කරන බවත්, එම මිල ඉක්මවා අලෙවි නොකරන බවටත් එකඟතාවකින් බැඳී සිටී. එම නිසා ගෑස් මිලේ වෙනසක් කිරීමට පෙර පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසර ලබාගත යුතුය.