ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් ගුවන් හමුදාවේ බලඝණ දෙකකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වර්ණ ප්රදානය කරයි.
දශක හතක කාලයක් මව්බිමේ සාමය උදෙසා ජීවිත පුද කළ සහ කැපවීමෙන් ක්‍රියාකළ ගුවන් විරුවන්ට ජාතියේ ගෞරවය පිරිනමන බව ජනාධිපතිවරයා කියා සිටී.
ජාතියේ සුරක්ෂිතභාවය අඛණ්ඩව රැක ගැනීම ගුවන් හමුදාව ඇතුළු සන්නද්ධ සේවාවන්හි මූලික වගකීම බව රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ අද (05) පෙරවරුවේ කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ පැවති ජනාධිපති වර්ණ ප්රදානෝත්සවය අමතමිනි.
“සුරකිමු ලකඹර” තේමා කර ගනිමින් දශක 07ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 05 ප්‍රහාරක ගුවන් බලඝණය සහ අංක 06 ප්‍රවාහන හෙලිකොප්ටර් යානා බලඝණයට ජනාධිපති අතින් වර්ණ ප්රදානය කෙරිණ.
සේනාධිනායකයා සන්නද්ධ හමුදාවකට පිරිනමන ඉහළම ගෞරව සම්මානය ජනාධිපති වර්ණ ප්‍රදානයයි. මේ සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජනාධිපති වර්ණ 13කින් පිදුම් ලබා ඇත.
මනුෂ්‍යත්වයේ අගය වටහාගත් අව්‍යාජ ජාත්‍යන්තර සහයෝගීතාව තුලින් දේශ සීමාවෙන් ඔබ්බට පැතිරෙන අභියෝගයනට සාර්ථකව මුහුණදිය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. සංකීර්ණ ගෝලීය පරිසර අභියෝග ජය ගැනීමට මනාව සූදානම් වීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.
ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය වර්ණවත් කිරීමට පැමිණි විදේශීය ගුවන් හමුදා සාමාජිකයනට ප්‍රශංසාව පුද කළ ජනාධිපතිතුමා ජාතීන් අතර මිත්‍රශීලි සබැඳියාව එමගින් ප්‍රදර්ශනය වන බවත්, එම බැඳීම් අඛණ්ඩව පවත්වාගෙන යමින් තවදුරටත් ශක්තිමත් කළයුතු බවත් සඳහන් කළේය.
වර්ණ ප්‍රදානයෙන් අනතුරුව කටුනායක මූලික ගුවන් කඳවුරේ සී-130 කඳවුරේ අංක 02 සහ අංක 05 බලඝණ ජනාධිපතිතුමා විසින් නිරීක්ෂණය කරනු ලැබීය.