මේ වනවිට අඛණ්ඩව සති 7ක් කොවිඩ්-19 ආසාදිතයන් ඉහළ ගොස් ඇති අතර, ගෝලීය වශයෙන් සති 4 ක් තුළ මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් ඊයේ (12දා) ජිනීවා නුවර පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
"ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ලෝකය අඛණ්ඩව සති 6ක් ආසාදන පහත වැටෙමින් තිබුණා" ටෙඩ්රොස් පැවසීය. "නමුත් ඒ තත්ත්වය වෙනස් වෙමින් අඛණ්ඩව සති 7ක් වැඩිවන ආසාදිතයන් සහ සති 4ක් වැඩිවන මරණ දැන් අපි දැක තිබෙනවා. පසුගිය සතියේ එක් සතියක් තුළ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ සිව්වැනි අවස්ථාව මෙයයි."
ආසියාවේ සහ මැදපෙරදිග රටවල් කිහිපයක විශාල වශයෙන් ආසාදිතයන් ඉහළ ගොස් ඇති බවද ඔහු පැවසීය.
මිලියන 780කට අධික එන්නත් මාත්‍රාවක් ගෝලීයව ලබා දී තිබියදීත් ආසාදිතයන් වැඩිවීමක් සිදුවෙමින් පවතින බව පැවසූ ඔහු, එන්නත් ඉතා වැදගත් හා බලවත් මෙවලමක් වන නමුත් එය පමණක් ප්‍රමාණවත් නොවන බව පැවසීය.
මුඛ ආවරණ පැලඳීම, ශාරීරික දුරස්ථභාවය, හොඳ වාතාශ්‍රයට නිරාවරණය, අත් සනීපාරක්ෂාව, සෝදිසි කිරීම, පරීක්ෂා කිරීම, ලුහුබැඳීම සහ හුදකලා වීම වැනි මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් කරමින් ආසාදන නැවැත්වීමට සහ ජීවිත බේරා ගැනීමට කටයුතු කරන ලෙසත් ඔහු අවධාරණය කළේය.
"මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල ව්‍යාකූලත්වය, උදාසීනත්වය හා නොගැලපීම සහ ඒවාට අවනත නොවීම කොවිඩ්-19 සම්ප්‍රේෂණය සහ මරණ වැඩිවීමට හේතු වෙනවා" ටෙඩ්රොස් පැවසීය. "එම මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගයන් ස්ථාවර, සම්බන්ධීකරණයෙන් යුතු පුළුල් ප්රවේශයකින් ගත යුතුයි."