ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සහ ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් බවට පත් කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27දා) අරලියගහ මන්දිරයේ දී පැවසීය.
ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් කිරීම සහ වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව ලබන සඳුදා සිට සේවය කිරීමට සූදානම් වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගුරු විදුහල්පති වෘත්තීය සංගම් වෙත දැනුම් දුන්නේය.
වසර විසිහතරක් පුරා ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පැවතියද මෙතෙක් සාධාරණ විසඳුමක් නොලැබුණු බවත්, රටේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳ පැහැදිලි අවබෝධයක තමන් සිටින බැවින් එක වර වැටුප් වැඩිකිරීමක් සිදු කළ නොහැකි වුවද වැටුප් විෂමතාව අවම කිරීම සඳහා සුභෝධනී වාර්තාව අනුව ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට කඩිනමින් කටයුතු කරන්නැයි ගුරු විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයෝ මෙහිදී ඉල්ලා සිටියහ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි දී මෙසේ සඳහන් කළේය.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳ පැහැදිලි අවබෝධයක මම ඉන්නවා. වැටුප් විෂමතාව අවම කිරීම අවශ්‍ය බවත් අපි රජයක් ලෙස පිළිගන්නවා. නමුත් රටේ පවතින තත්ත්වයත් ගෝලීය තත්ත්වයත් සමග රටේ ආර්ථිකය ඉතාමත් පහළ මට්ටමක පවතින නිසා ඉතා ඉක්මනින් වැටුප් ඉහළ දැමීමක් කිරීමට රජයට හැකියාවක් නොමැති බව ඔබ හොඳින් දන්නවා. අධ්‍යාපන අමාත්‍යතුමා පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලයට ඔබේ ගැටලූ පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මම කැබිනට් මණ්ඩලයේ දී ගුරුවරුන් විදුහල්පතිවරුන් වෙනුවෙන් පෙනී සිටිනවා. මෙම ගැටලූව නිරාකරණය කිරීමට අපි සූදානම්. කෙසේ වෙතත් වැටුප් කොමිසම සමග සාකච්ඡා කර වැටුප් ගෙවීම් පිළිබඳ තීරණයකට එළැඹිය යුතු යැයිද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.