කොවිඩ්-19 ආසාදන තවදුරටත් ඉහළ යාමෙන් පසු ග්‍රීසිය සියලු ගෘහස්ථ පොදු ස්ථානවල මෙන්ම, නිසි සමාජ දුරස්ථභාවය නිරීක්ෂණය කළ නොහැකි එළිමහන් අවකාශයන්හි මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කර තිබේ.
ග්‍රීසියේ කොවිඩ්-19 ආසාදන නව තහවුරු කිරීම් 78ක් සිකුරාදා වාර්තා වූ අතර, එය මාස දෙකක පමණ කාලයක් තුළ වාර්තා වූ ඉහළම අගයයි. සමස්තයක් ලෙස ග්‍රීසිය කොවිඩ්-19 ආසාදිතයන් 4,447ක් වාර්තා කර ඇති අතර, මරණ 202කි. මෙය යුරෝපයේ සෙසු රටවල් සමග සැසඳමේදී යහපත් තත්ත්වයකි.
"පළමු අදියරේදී වසංගතයට සාර්ථකව මුහුණදීමේ තීරණාත්මක සාධකය වූයේ පුරවැසියන්ගේ වගකීමයි. සෑම කෙනෙකුගේම පෞද්ගලික වගකීමයි." යැයි සිවිල් ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිකොස් හර්දාලියාස් රූපවාහිනී සාකච්ඡාවකදී පැවසීය. "මෙය ග්‍රීසියේ සාර්ථකත්වයේ රහස වන අතර මෙම අදියරේදීද අප සියලු දෙනාම එකම වගකීමක් දරමින් සහ අවදියෙන් සිටිය යුතුයි."
මේ අතර අගෝස්තු 8දා සිට එංගලන්ත වැසියන්ට සිනමා ශාලා, පූජනීය ස්ථාන, කෞතුකාගාර සහ කලාගාරවල මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.
"කෞතුකාගාර, කලාගාර, සිනමා ශාලා සහ පූජනීය ස්ථාන වැනි ඔබ සාමාන්‍යයෙන් හමු නොවන පුද්ගලයින් සමග සම්බන්ධ වීමට ඉඩ ඇති වෙනත් ගෘහස්ථ පරිසරයන්වලදී මුඛ ආවරණයක් පැලඳීමේ අවශ්‍යතාව අප දීර්ඝ කරනවා." ජොන්සන් පැවසීය.
එරට මුඛ ආවරණ දැනටමත් පොදු ප්‍රවාහනයේදී සහ වඩාත් මෑතකදී වෙළඳසැල්වල අනිවාර්ය කර තිබේ.