බේරුවල ප්‍රදේශයේ කනිෂ්ඨ විදුහලක විදුහල්පති නිල කාමරයේ තිබූ පරිගණකය පාසල් නිවාඩු කාලයේදී ජනේලය කඩා සොරකම් කරන ලද බාලවයස්කාර සිසුන් දෙදෙනකු බේරුවල පොලීසිය අද (02) සිය භාරයට ගෙන තිබේ.
පාසලේ ශ්‍රමදාන කටයුත්තකට (01)දා පැමිණි විදුහල්පතිවරයා තම නිල කාමරයේ තිබූ පරිගණකය නොමැති වීම පිළිබඳ බේරුවල පොලිසියට කළ පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ පොලිසිය පරිගණකය සොරකම් කර ඥාති නිවසක සඟවා තිබූ සිසුන් දෙදෙනා හා පරිගණකය සොයා ගෙන තිබේ.
වයස අවුරුදු 13 සහ 12 හැවිරිදි සිසුන් දෙදෙනා පොලීසියට පවසා ඇත්තේ "කම්පියුටර් ගේම්" වලට ආශාවෙන් මෙම පරිගණකය විදුහල්පති නිල කාමරයේ ජනෙල් කූරු ඈත් කර එයට ඇතුළු වී රැගෙන ගිය බවයි.
පොලිසිය මේ පිළිබඳ දෙමව්පියන්ට ද දැඩි ලෙස අවවාස කර ඇති අතර දරුවන්ගේ ක්‍රියාකාරකම් ගැන මෙයට වඩා විමසිලිමත් වන ලෙස ද පවසා තිබේ. මෙම සිසුන් දෙදෙනා වෙනත් පාසල් දෙකක අධ්‍යාපනය ලබන අසල්වාසී මිතුරන් වේ.
පොලීසිය එම පරිගණකය සොයා ගන්නා විටත් කොටස්වලට ගලවා තිබී ඇති අතර විටින් විට ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හේතුවෙන් පරිගණකය ක්‍රියාත්මක කිරීමට එම සිසුන්ට හැකියාවක් නොමැති බව කියයි. බාලවයස්කරුවන් වුවද සිදු කරන ලද මෙම සොරකම පිලිබද පොලීසියේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා