ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මෝරුපොල ප්‍රදේශයේදී ඉකුත් 3 වෙනි දින ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වා ඇති අතර මෙහිදී ලේ පරිත්‍යාග කළ කිහිප දෙනෙකුම කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරුවී ඇති බැවින් එම රුධිර ප්‍රමාණය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට දැනුම් දීමට පියවර ගත් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.
මෙම ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ දැනුවත් කිරීමක් සිදු නොකොට පවත්වා ඇත.
ලේ පරිත්‍යාග කළ අය අතුරින් එකම පවුලේ තිදෙනෙකු ඇතුලු සිව් දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරුවීම මත එම ප්‍රදේශයේ පවුල් 19 ක සාමාජිකයින් 100 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව " අද" කළ විමසුමකට පිළිතුරු දෙමින් මෝරුපොල ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතා සදහන් කළේය.
එම වැඩසටහනට සහභාගිවී ඇති විදුලි බල මණ්ඩලයේ සේවය කරනු ලබන අයෙකුට සහ වරාය අධිකාරියෙහි සේවය කරන අයෙකුට හා ඔහුගේ බිරිදටත් , සොහොයුරාටත් රෝගය ආසාදනය වී ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.
ආසාදිතයෙකුව සිටින විදුලි බල මණ්ඩලයේ සේවය කරනු ලබන තැනැත්තාගේ පියා බස් රියදුරෙකු ලෙස මාතර - කොළඹ බස් රථයක සේවය කරන අයෙකු බවද අනාවරණය වී ඇති බව සදහන් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඔහුද පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමට පියවර ගන්නා බවද කීය.
ඉකුත් 3 වෙනි දින ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහන අවසන් කොට ඊට එක්වූ දැනට ආසාදිතව සිටින්නන් ඇතුළු ග්‍රාමයෙහි පිරිසක් සාදයක් පවත්වා ඇති බවක්ද අනාවරණය වී ඇතැයි සදහන් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතා කියා සිටියේ, මේ සම්බන්ධයෙන් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුවත් කරමින් එම පිරිස හදුනා ගැනීමට කටයුතු කරමින් සිටින බවය.
ගම්පහ තිලකරත්න දිසානායක