ගම්පහ නගර මධ්‍යයේදී මිනිස් ඝාතනයක් සිදු කොට වසර අටකට ආසන්න කාලයක් පොලීසියට කට්ටි පනිමින් සිටි පුද්ගලයෙකු ගම්පහ පොලිස් කොට්ඨාස දූෂණ මර්ධන අංශය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
ගම්පහ කප්රුක වෙළඳ ආයතනයෙහි හිමිකරුව සිටි රාජපක්ෂ ආරච්චිලාගේ ලැරික් සමන් රාජපක්ෂ නමැති අය 2012 ජූලි මස 13 වෙනි දින ගම්පහ පොදු වෙළඳ පොල අසලදී කඩුවකින් කපා ඝාතනය කොට තිබූ අතර මේ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි අයෙකු මෙලෙස අත් අඩංගුවට ගනු ලැබු බව පොලීසිය සදහන් කරයි.
කොට්ඨාස දූෂණ මර්ධන අංශයට ලැබී ඇති තොරතුරක් මත 43 හැවිරිදි සැකකරු ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගැනීමට හැකිවූ බවත් මොහුට වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය තුල සිදු කළ මංකොල්ලයක් සම්බන්ධයෙන් විවෘත වරෙන්තුවක් පවතින බවත් පොලීසිය පවසයි.
ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති වරයාගේ මෙහෙයවීම මත සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර වැඩි දුර පරීක්ෂණ සදහා ගම්පහ පොලීසියට බාරදී ඇත.
ගම්පහ තිලකරත්න දිසානායක