කොරෝනා රෝගයේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් , ගම්පහ මහනගර සභාවේ දී පුරපති එරංග සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතාගේද සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී පුරපතිවරයා සදහන් කරසිටියේ , මිනුවන්ගොඩ ඇගළුම් කම්හලක සේවය කළ වැඩි පිරිසක් කොරෝනා රෝග ආසාදිතයින් බවට තහවුරුවීම මත ඕනෑම තත්ත්වයකට මුහුණ දීම පිණිස අවශ්‍ය කටයුතු සූදානම් කොට තැබිය යුතු බවත් පසුගිය කාලයේදී ගනුලැබූ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත යුතුව ඇති බවත්ය.
මහනගර සභා බල ප්‍රදේශයට අයත් ගම්පහ , යක්කල සහ මිරිස්වත්ත යන නගර ආශ්‍රිතව පොදු ස්ථාන විෂබීෂහරණය කිරීමට පියවර ගැනීම , අත් සේදීමේ ක්‍රමවේද ආයතන ආශ්‍රිතව ඇතිකිරීම මෙන්ම ජනතාව මුව ආවරණ පැළදීමට යොමු කිරීම කඩිනමින් කළ යුතුව ඇති බවද පුරපතිවරයා මෙහිදී සදහන් කළේය.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා ප්‍රකාශ කොට සිටියේ , නගරවල ආපනශාලාවන්හි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් යළි අනුගමනය කිරීමට වෙළඳුන් දැනුවත් කිරීම වියයුතු බවත් පසුගිය කාලයේදී උපකාරක පන්ති තුල මීටරයක පරතරය අනුගමනය කිරීමක් නොවූ බැවින් එය එසේ නොවුණහොත් අහිතකර බලපෑම් ඇති විය හැකි බවත්ය.
ඉතා අත්‍යාවශ්‍ය හේතුවක් සදහා පමණක් නගරයන්ට පැමිණීමේ අවශ්‍යතාවය , පොලීසියේ ද සහාය ඇතිව ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නගර සභා බල ප්‍රදේශය තුල ජනතාව දැනුවත් කිරීමටද මෙහිදී තීරණය කෙරිණි.
මෙම සාකච්ඡාවට නාගරික කොමසාරිස් ගයානී රණසිංහ මහත්මිය, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද , පොලීසිය , වෙළෙඳ සංගම් නියෝජිතයින් සහ නගර සභා සෞඛ්‍ය අංශ නිලධාරීන්ද එක්ව සිටියහ.
ගම්පහ- තිලකරත්න දිසානායක