කොරෝනා රෝග තත්ත්වය ගම්පහ දිස්ත්‍රික්කය තුල ප්‍රදේශ කිහිපයක මේ වනවිට යලි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් ජනතාවගේ විශේෂ අවධානයක් යොමු විය යුතුව ඇති බවට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
සිංහල අවුරුදු නිමාවෙන් පසුව මෙම තත්ත්වය උදාවී ඇති බැවින් මෙලෙස දැනුවත් කිරීමට සිදුව ඇති බව සදහන් කළ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා කියා සිටියේ ,මේ වනවිට අවුරුදු උත්සව පවත්වා ඇති රාගම සහ දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් කොවිඩ් ආසාදිතයින් හමුව ඇති බවය.
අවුරුදු උත්සව පවත්වා ඇති රාගම කොට්ඨාසයෙන් ආසාදිතයින් 9 දෙනෙකු සහ දිවුලපිටිය කොට්ඨාසයෙන් ආසාදිතයින් 19 දෙනෙකු හමුව ඇති බවත් දිවුලපිටිය ප්‍රදේශයෙන් විනෝද චාරිකාවකට එක්වූ 44 දෙනෙකුද මහර කොට්ඨාසයේ කර්මාන්තශාලාවකින් 44 දෙනෙකුද ආසාදිතයින් බවට හදුනාගෙන ඇති බව පැවසූ සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා , යළිත් රෝග තත්ත්වයේ වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බැවින් ජනතාව දැඩිව සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවද සදහන් කළේය.
පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවදානය යොමු කළ යුතු බව පැවසූ අධ්යක්ෂවරයා ජනතාව වැඩි වශයෙන් රැස්වන රැස්වීම් නැවැත්විය යුතු අතරම සංචරණය සීමා කරමින් කටයුතු කිරීමත් උණ ,කැස්ස , සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇතොත් වහාම ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගතයුතු බවද සදහන් කළේය.
මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් දිනකට පී.සී.ආර් පරීක්ෂාවන් 1500 ක් පමණ සිදු කරමින් ආසාදිතයින් සොයා ගැනීමට පියවර ගෙන ඇති බවද කළ විමසුමකට පිළිතුරු දෙමින් අධ්යක්ෂවරයා පැවසීය.