ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා රෝග තත්ත්වය පැවති තත්ත්වයට වඩා යම් පාලනයක් සිදුව ඇති බව පෙනෙන්නට තිබෙන මුත් තව දුරටත් දැඩි අවධානයකින් යුතුව ජනතාව කටයුතු කළ යුතුව ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මිගාර ඈපා මහතා සඳහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (22) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල කොවිඩ් 19 ආසාදිතයින් 39 දෙනෙකු හමුව ඇති බවත් ඉන් 8 ක් වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් දොම්පෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මිගාර ඈපා මහතා පැවසීය.
අත්තනගල්ල සහ බියගම කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් 7 දෙනෙකු බැගින් වැඩි වශයෙන් හමුව ඇති බවත් ඊයේ උදෑසන වනවිට ආයෝජන මණ්ඩලය කලාපය සහ වෙනත් කර්මාන්තශාලා වලින් කිසිදු ආසාදිතයෙකු හමු නොවීම යහපත් තත්ත්වයක් බවත් අධ්යක්ෂවරයා සදහන් කළේය.
මේ අතර බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට ලක් කිරීමේදී කොවිඩ් 19 ආසාධනය වූවන් හමුවන තත්ත්වයක් පවතින බැවින් ජනතාව මෙම උත්සව සමයේ බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය සීමා කිරීම ඉතා උචිත බවද අධ්යක්ෂ මිගාර ඈපා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.
කොවිඩ් 19 දෙවන රැල්ලේ ඔක්තෝම්බර් මස 4 වෙනි දින සිට ඊයේ උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 6894 දෙනෙකු හමුව ඇති අතර පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇති සංඛ්‍යාව 1,11,524 දෙනෙකි.
තිලකරත්න දිසානායක