ගම්පහ , කච්චේරි භූමියෙහි ඉදිකෙරෙන ගොඩනැගිලි සංකීර්ණයක සේවය කරන සේවකයින් 20 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හදුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රතිකාර පිණිස යොමු කිරීමටත් ආශ්‍රිතයින් සොයා ගැනීමට පියවර ගෙන ඇති බවත් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා සදහන් කළේය.
එම වැඩ බිමෙහි සේවය කරන කිහිප දෙනෙකු ඉකුත් සතියේදී උණ සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත කළ පරීක්ෂාවේදී 8 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරු වීම මත එහි කටයුතු කරන තවත් පිරිසක් ඉකුත් සෙනසුරාදා (6) පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ බවත් එම පරීක්ෂණ වාර්තා අනුව තවත් 12 දෙනෙකු ආසාදිතයින් බව තහවුරු වී ඇති බවත් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
එම ආසාදිතයින් ප්‍රතිකාර පිණිස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් හදුනාගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මෙම වැඩ බිමෙහි සේවය සදහා , කම්කරුවන් සපයන ආයතන මගින් විවිධ ප්‍රදේශවලින් සේවකයින් පැමිණ ඇති බැවින් රෝග තත්ත්වය ව්‍යාප්තවීමට හේතුවී ඇති බවට සැක කරන බවත් මොවුන් නේවාසිකාගාරවලදී සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකිරීමද මෙවන් තත්ත්වයක් ඇති වීමට හේතු විය හැකි බවත් වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා කීය.
ගම්පහ තිලකරත්න දිසානායක