ගම්පහ දිසාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 තුල රාත්‍රී කාලයේ පවත්වාගෙන යනු ලබන හෝටල් පරීක්ෂා කිරීමක් ඊයේ (26) රාත්‍රියේ දී සිදු කෙරිණි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 177 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවති මෙම පරීක්ෂාවේදී හෝටල් හිමිකරුවන් 58 දෙනෙකුට නඩු පැවරීමටත් හෝටල් 103 ක තිබූ පිරිසිදු ආහාර පාන විනාශ කිරීමටත් පියවර ගත් බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා පැවසීය.
කොරෝනා රෝග තත්ත්වයෙන් පසුව ජනතාවට ආහාර පාන සපයනු ලබන ස්ථාන පරීක්ෂා කිරීමේ මෙම වැඩපිළිවෙල යටතේ ගම්පහ , මිරිස්වත්ත , බැලුම්මහර සහ යක්කල යන නගර ආශ්‍රිතවද පරීක්ෂා කිරීම් සිදු කළ අතර පරීක්ෂාවට ලක් කළ හෝටල් අතුරින් ඇතැම් ස්ථාන දැඩි අපිරිසිදු තත්ත්වයෙන් සහ ජනතාවට ලබා දෙන ආහාර අපිරිසිදු අන්දමින් සකසා තිබීම මත එම හෝටල් හිමිකරුවන්ට අධිකරණය හමුවේ නඩු පැවරීම සිදු කරමින් එම ආහාර පාන විනාශ කිරීමටද පියවර ගනු ලැබීය.
බැලුම්මහර නගරයේ , ඉදිරිපස ඉතා පවිත්රත්වයෙන් යුතුව පැවති භෝජන ශාලාවක් පරීක්ෂා කළ අවස්ථාවේ එහි මුලුතැන්ගෙය ඉතාමත් අපිරිසිදුව මෙන්ම රාත්‍රී ආහාරය සඳහා තිබු පිලුනුවූ පරිප්පු හොද්දක් තිබු අතර එහි කුඩා පනුවන් සිටි ආකාරයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැකගැනීමටත් , කොත්තු රොටී සදහා පරණ වූ කොත්තු රොටී මෙන්ම ශීතකරණ තුල නරක්වූ මස් ආදිය තිබූ අන්දමත් දැකගත හැකි විය.
තවද එම හෝටලයෙහි ආප්ප සකස් කරමින් තිබූ ස්ථානයෙහි වූ ලුනු කුඩු සහ ගම්මිරිස් සහිත භාජනයෙහි මැස්සන්, කෘමීන් වැටී මැරීසිටි ආකාරයක්ද දක්නට ලැබිණි.
මෙම පරීක්ෂාවේදී ආහාර පාන සකස් කිරීමේ ස්ථාන පවිත්‍රව තබා ගැනීම මෙන්ම පරණ වූ ආහාර ශීතකරණයන්හි තබා යළි යළිත් ආහාරයට ලබා නොදීමට මෙන්ම , මුඛ ආවරණ පැළදීම පිළිබඳව දැනුවත් කිරීම සිදු කළ අතර සේවකයින්ගේ පවිත්‍රතාවය මෙන්ම, සේවකයින් සෞඛ්‍ය පරීක්ෂාවන්ට ලක් කළ වෛද්‍ය සහතිකපත් පරීක්ෂා කිරීමටද පියවර ගැණින.
පරීක්ෂාවේදී සාමාන්‍ය මට්ටමින් අසතුටුදායකව පැවති හෝටල්වල තත්ත්වය නිවැරදි කර ගැනීමට සති දෙකක කාලයක් ලබාදීම සිදු කළ අතර ඉතා අපිරිසිදු තත්ත්වයෙන් පැවති ස්ථාන සම්බන්ධයෙන් නීතිමය පියවර ගනු ලැබීය.
ජනතාවගේ පරිභෝජනය පිණිස ආහාර පාන සකස් කරනු ලබන හෝටල් ආදිය මෙන්ම බේකරිද ඉදිරියේදී දිවා සහ රාත්‍රී කාලයේදී පරීක්ෂාවන්ට ලක් කරමින් උසස් මට්ටමින් සේවා සපයන ස්ථාන බවට පත් කරනු ලබන බවත් හෝටල් ශ්‍රේණිගත කිරීමද මීට සමගාමීව සිදු කරනු ලබන බවත් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය චන්ද්‍රානි සේනාරත්න මහත්මියගේ උපදෙස් මත සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ අධීක්ෂණය මත පරීක්ෂාවන් සිදු කළ අතර ගම්පහ පරීක්ෂාවට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතාගේ මෙහෙයවීම යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් වන සුසන්ත බණ්ඩාර, චූලක විජේතුංග , කේ.එල්.ජයසිරි , සමීර දයාරත්න, චන්දන පද්මලාල් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්වසිටි අතර අත් අඩංගුවට පත් හෝටල්කරුවන් නියම කරනු ලබන දිනයේදී අදාල මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ පෙනී සිටීමට යටත්ව බැදුම් කර මත මුදා හැරීම සිදු කෙරිණි.
තිලකරත්න දිසානායක