ජනාධිපතිවරණයකට අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන කොට ලස්සනද, කළුද, සුදුද කියන ඒවාවත්, එයාගේ තාත්තා කවුද කියන එකවත් නොවන බවත් ඒ අපේක්ෂකයාට මේ රටේ නායකත්වය භාරදෙන්න පුළුවන් ජනපතිවරයෙක් ලෙස මොනවාද මේ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියා පමණක් සොයා බැලිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පවසයි.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දැනුවත් කිරීම සඳහා ඊයේ( 27) වනදා බුලත්සිංහල පැවති රැස්විමකට එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සේමසිංහ මහතා,
“මේ රටේ නායකත්වය භාරදෙන තීරාණාත්මක අවස්ථාවකටයි අපි මේ මුහුණ දි සිටින්නේ. අපේ ජනතාව වෙනින් පැත්තකට ඇදීමේ කොන්ත්‍රාත් ක්‍රියාත්මක කරන්න කළුතර දිස්ත්‍රික්කයේ අපි ඉඩ දෙන්නේ නැහැ. මේක තීරණාත්මක අවස්ථාවක්. මේ වගේ අවස්ථාවක ජනතාව මුලාකරන්න අපි ඉඩදෙන්නේ නැහැ. සියලුම ජන කොටස් සමඟි කරන්න ,බොරු පොරොන්දු දෙන්නේ නැතුව කටයුතු කළ යුතුයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කාරණා ගණනාවක් පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරලා එකඟතාවයකට ඇවිත් අපේ පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කර ගනිමින් අපි නීත්‍යානුකූල ගිවිසුමක් අත්සන් කරලා ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ ජනාධිපතිවරණයේදී සහයෝගය දෙන්න ගත්ත තීරණය අනුව අපි දැන් කටයුතු කරමින් සිටිනවා. ඒක අපි අවංකව කරනවා.
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තිබෙනවා. එතුමා මේ රටේ ආරක්ෂාවට මුල තැන දීල තිබෙනවා. ඒ වගේම එතුමා වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000 ක් කරන බවට ප්‍රකාශ කළා. එතකොට අනිත් පැත්තේ අපේක්ෂකයා කියනවා රුපියල් 1500 ක් දෙනවා කියලා. හැබැයි ඒ අයට වැඩිකරපු රුපියල් 50 වත් දෙන්න බැරි වුණා. මේ රටේ කාටවත් අවසන් කරන්න බැරි වුණ 30 අවුරුදු යුද්ධය අවසන් කර එතුමා ඕනෑම අභියෝගයක් භාරගැනීමට සුදුසු බවට ඔප්පුකර තිබෙනවා.
නොවැම්බර් 17 ,18 වනවිට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රටේ ජනාධිපති වනකොට මේ රටේ අගමැති වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයයි. පසුගිය කාලේ වගේ ජනාධිපතිවරයාටයි අගමැති වරයාටයි දෙපැත්තට අඳින්න ඕනා වෙන්නේ නැහැ. ඕනෑම වෙලාවක මේ සහෝදරයන් දෙදෙනාට සාකච්ඡාකර තීරණ ගන්න පුළුවන්. එවිට මේ රට යහපත් තැනකට ගෙනියන්න හැකි වෙනවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
මතුගම - බන්දු තඹවිට