ඛණිජ තෙල් මිලදී ගැනීමට තිබූ කොන්ත්‍රාත් පහ කැබිනට් අනුමැතිය ඇතිව අවලංගු කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවැසීය.
අදාළ කොන්ත්‍රාත් පහෙන් දෙකක් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ලබා දී ඇති බවත්, අනිත් කොන්ත්‍රාත් තුනද අවිධිමත් ආකාරයෙන් පැවැති බවත් අමාත්‍යවරයා පැවැසීය.
ඊයේ (20දා) පස්වරුවේ සපුගස්කන්ද ඛණිජ තෙල් පිරිපහදුවේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
"මේ සංස්ථාවේ සල්ලි වලින් තමන්ගේ දූ දරුවන් ප්‍රකෝටි ගණන් වියදම් කරලා විදේශ රටවල මාළිගා අරන් දුන්න අය අපි දන්නවා. ඒ වගේම ප්‍රකෝටි ගණන් තමන්ගේ ගිණුම් වල බැර කරගත්ත අය අපි දන්නවා. ඒ යුගය දැන් අවසන් කළ යුතුයි. මින් ඉදිරියට විවෘත ටෙන්ටර් පටිපාටියකින් පමණයි ඉන්ධන ගන්නේ. මේ ක්ෂේත්රයේ මහා පරිමාන දූෂණ තියෙනවානම් ඒවා ඉවත් කරන්න අපි පියවර ගන්නවා. ඛණිජ තෙල් මිලදි ගන්න තිබුණ කොන්ත්‍රාත් 5 න් 2ක් ටෙන්ඩර් පටිපාටියෙන් නෙමෙයි අරන් තියෙන්නේ. අනෙක් කොන්ත්‍රාත් 03ත් අවිධිමත් ආකාරයෙන් පැවතුණා. ඒ නිසා කැබිනට් අනුමැතියකින් මෙම ටෙන්ඩර් 05 අවළංගු කළා.
අනුන්ගේ බර උසුලන්න ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට බැහැ. දූෂිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මිහින් ලංකා එයාර් සමාගමට ඉන්ධන දීලා දූෂිතයි කියලා බැනුම් අහන්න ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට බැහැ. එ වගේම රජයේ වෙනත් වියදම් පියවාගන්න ඛණිජ තෙල් වලින් බදු අයකරගෙන, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජන බැංකුවට ලංකා බැංකුවට ණයවෙලා බදු ගෙවන යුගය දැන් අවසන්. අපි කිසිම ආකාරයකින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පනතට පටහැනි ආකාරයෙන් බදු ගෙවිම් කරන්නේ නැහැ. මින් ඉදිරියට දේශපාලඥයින්ට, රජ ගෙදරට හෝ රජ ගෙදර වටේ ඉන්න දූෂිතයන්ට ඕන හැටියට පාරිතෝෂික අරගෙන ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් යැපෙන්න අපි ඉඩ තියන්නේ නැහැ" යැයි අමාත්‍යවරයා පැවැසීය.