අපේ අම්මලාට - කාන්තාවන්ට මෙතෙක් ප්‍රශ්න නොවුණු දේවල් ප්‍රශ්න බවට පත් කිරීමට බටහිරකරණයට ලක්වූ ස්ත්‍රීවාදී, කොළඹ කුල්ටූර් පැලැන්තියේ අය උත්සාහ කරන බව ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.
පසුගිය දා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක සිදුකරන ලද ‘කාන්තාවන්ගේ ගෘහ ජීවිතයටත් වැටුපක් ගෙවිය යුතුය’ යන ප්‍රකාශයත් එවැන්නක් ඔහු පවසයි.
කොටිකාවත්ත සණස ශාලාවේ පැවැති ‘පෑලවිය 2020’ වැඩිහිටි දින සැමරුමෙහි ආරාධිත දේශනය සිදු කරමින් ඒ මහතා මෙසේ පැවසීය.
’‘අපේ සමාජයේ මේ උතුම් සංස්කෘතිය නොතේරෙන අයත් ඉන්නවා. පසුගිය දවසක එක්තරා පක්ෂයක ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් කියනවා, ‘කාන්තාව ගෙදර දී විශාල වැඩ කොටසක් කරනවා, ඒකට වැටුපක් ගෙවන්නෙ නැහැ’ කියලා. එතුමියට අනුව අපේ ගෙදර ඉන්න ආදරණීය අම්මාට, තාත්තා විසින් වැටුපක් ගෙවිය යුතුයි. බටහිර චින්තනයට අනුව අපේ ජීවිත කිරලා, මනින්න ගියාම, ඔළුව කුරුවල් වන ඔය විදිහෙ මත, ඔය විදිහෙ අයගෙන් පිට වෙන එක වළක්වන්න බැහැ.
ඔවැනිම කතාවක් අද ස්ත්‍රීවාදී සංවිධානවලිනුත් කියැවෙනවා. ඒ තමයි ‘කාන්තාවට දීර්ඝ වේලාවක් උයන පිහින කටයුතුවල නියැලෙන්න සිදුවෙලා තියෙනවා’ කියන එක. අපේ අම්මලා මේ උයන පිහන කටයුත්ත කරන්නේ ඉතා ආසාවෙන්, ආදරයෙන්.
කෑම ටිකක් හදලා ‘ඒක රසයි’ කියලා දරුවෙකු හෝ ස්වාමිපුරුෂයා හෝ කියපුවාම ඒකෙන් ඇයට ලැබෙන තෘප්තිය ඔය බටහිරකරණයට ලක්වුණු, ස්ත්‍රීවාදීව සිතන ඔය නෝනලාට වැටහෙන්නේ නැහැ. බටහිරට සාපේක්ෂව, අපේ ආහාර සංස්කෘතියට අනුව ආහාර පිසගන්න ගත වන කාලය වැඩියි.
නමුත් අපේ අම්මලාට, කාන්තාවන්ට කිසිවිටෙක එය ප්‍රශ්නයක් වුණා කියලා මම නම් හිතන්නේ නැහැ. නමුත් අපේ අම්මලාට, කාන්තාවන්ට මෙතෙක් ප්‍රශ්නයක් නොවුණු දේවල් අද ප්‍රශ්න බවට පත් කරන්න, පිටරට විවිධ සංවිධානවලින් මුදල් ලැබෙන කොළඹ කුල්ටූර් පැලැන්තියේ නෝනලා උත්සාහ කරනවා. ‘දැන් අපේ ගෘහ ජීවිතයටත් වැටුපක් ඕනේ’ කියන තැනට මේ රටේ කාන්තාවන් පත් කර ගන්න පුළුවන්ද, කියා මේ නෝනලා බලනවා. මේ විකාරරූපී අදහස් අපේ වැඩිහිටියන්ගේ ඔළුවලට පටවන්න බැරි වුණාට සමහරවිට අපේ අලුත් පරම්පරාවේ තරුණ තරුණියන්ගේ ඔළුවලට ඒවා පටවන්න හැකි වෙන්න පුළුවන්.
ඒ නිසා වැඩිහිටියන් ලෙස අපේ උපරිම වගකීම තමයි, අපි ලබපු ජීවිතය, වටිනාකම්, ගුණාංග අපේ දරු පරපුරට කියා දීම. අපේ මේ සංස්කෘතියෙන් අපි ලබපු වැදගත් දේවල් අලුත් පරම්පරාවට උරුම කර දීමට අපි වැඩිහිටියන් ලෙස කැප විය යුතුයි. චීනයේ වැඩිහිටියන් උද්‍යානවලට ගිහිල්ලා ඒවායේ සිටින දරුවන් සමඟ කතාබස් කරමින් තමන් ලැබූ ජීවිත අත්දැකීම් ඒ දරුවන්ට කියා දෙනවා.
එමගින් පරම්පරා කිහිපයක් අතර පවතින පරතරය පියවා ගන්න පුළුවන් වේවි කියලා චීන සමාජය කල්පනා කරනවා. අපේ වැඩිහිටියන් තමන්ගේ ජීවිතයේ අවසන් මොහොත දක්වා සමාජයට තමන්ගෙන් සිදු විය යුතු යුතුකම අත් හරින වැඩිහිටියන් නොවෙයි.”