කළුතර දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමට නියමිත විශ්ව විද්‍යාලය ඉදිකිරීම වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉත්තෑපාන ප්‍රදේශයේ පිහිටි භූමියක් පරීක්ෂා කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ,කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන , ජයන්ත සමරවීර , ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති හිමියන් ,විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා ඇතුළු පිරිසක් අද (28) එම ප්‍රදේශයට පැමිණියේය.
බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ මෙතෙක් කිසිම විශ්ව විද්‍යාලයක් ආරම්භ කර නොමැති නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළුතරට පැමිණි අවස්ථාවක කළුතර දිස්ත්‍රික්කයේ විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කරන ලද ඉල්ලීමක් සහ එම විශ්ව විද්‍යාලය නිදහස් අධ්‍යාපනයේ පියා වන ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති එතුමාගේ මුල් ගම වන ඉත්තෑපාන ප්‍රදේශයේ ඉදිකරන ලෙස ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති හිමියන් කරන ලද ඉල්ලීම් අනුව එම නව විශ්ව විද්‍යාලය ඉදිකිරීම සඳහා අතීතයේ රජයේ වතු යායකට අයත්ව තිබී මේ වන විට වතු සමාගමක් මගින් පාලනය වන මිරිස්වත්ත වතුයායේ මාලඹේ කොටසේ පිහිටි අක්කර 117 ක භූමියක් මෙසේ පරීක්ෂාවට ලක් කළ අතර මෙම විශ්ව විද්‍යාලය පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් ඉදිරි සතියේ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළහ.
උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ දියුණුම පළාත වන බස්නාහිර පළාතට අයත් කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙකේම විශ්ව විද්‍යාල පිහිටා ඇති බවත් එම පළාතේ පිහිටි කළුතර දිස්ත්‍රික්කයේ මෙතෙක් විශ්ව විද්‍යාලයක් ආරම්භ කර නොමැති නිසා රෝහිත අබේගුණවර්ධන මහතාගේ ඉල්ලීමට අනුව මෙම වසර අවසන් වීමට පෙර නිදහස් අධ්‍යාපනයේ පියා වන ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ මුල් ගම සහ මෙරටින් බිහිවූ උගත් පඬිරුවනක් වන ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති හිමියන්ගෙ උපන් ගම වන මෙම ඉත්තෑපාන ප්‍රදේශයේ ඉදිකිරීමට කටයුතු ආරම්භ කරන බවත් පැවසීය.
මේ අවස්ථාවට වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල,වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් රන්ජන් පී.පෙරේරා ඇතුළු නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී විය.
(මතුගම බන්දු තඹවිට)