කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයේ වසංගත තත්ත්වයක් ජර්මනිය තුළ ආරම්භ වෙමින් පවතින බව එරට රෝග පාලනය හා වැළැක්වීමේ ජාතික ඒජන්සිය වන ජර්මනියේ රොබට් කොච් ආයතනයේ සභාපතිවරයා අනතුරු අඟවයි.
“අපි වසංගතයේ ආරම්භයේ සිටිනවා. මොකද මරණ අඩු වුවත්, ආසාදිතයන් වැඩිවෙමින් පවතිනවා” සභාපති ලොතර් වයිලර් පවසා සිටියේය.
කෙසේ වෙතත් ජර්මනියේ ආසාදිතයන්ට සාපෙක්ෂව මරණ සංඛ්‍යාවේ යම් අඩුවක් තිබීමට හේතුව රෝගීන් හඳුනාගැනීමට පුළුල් පරීක්ෂණ සිදුකිරීමත්, සුළු රෝගී තත්ත්වයන් පෙන්වන පිරිස් හඳුනාගැනීමත් විය හැකි බව ඔහුගේ අදහසයි. එමෙන්ම, මේ දක්වා රෝගාතුර වී ඇති මහලු පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් මෙතෙක් හමුවී නොමැති බවද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම වසංගතය වර්ධනය වන්නේ කෙසේද යන්න තවදුරටත් විවෘතව පවතින බවට අනතුරු ඇඟවූ සභාපතිවරයා, ජර්මනියේ මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයිද පවසා සිටියේය.
මේ අතර ජර්මානු පාර්ලිමේන්තුව නව කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා මූල්‍ය ආධාර පැකේජයක් පිළිබඳව විවාදයක් පැවැත්වීය.
මෙම පැකේජය යුරෝ බිලියන 750ක් (ඩොලර් බිලියන 812ක්) වන අතර එය ඉක්මණින් අනුමත කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සඳහන් කළේය.
මෙම පාර්ලිමේන්තු විවාදය පැවති අවස්ථාවේදී ජර්මානු පාර්ලිමේන්තුව තුළ රැස්වූ සභිකයන් සියලු දෙනා සමාජ දුරස්ථභාවය රකිමින් මීටරයක් දුර පරතරය ඇතිව පාර්ලිමේන්තුව තුළ රැඳී සිටින අයුරු දැකගත හැකි විය.