ලන්ඩනයේ ස්ට්‍රැට්ෆර්ඩ් දුම්රිය ස්ථානයෙන් පසුගියදා පිටත පැවති උද්ඝෝෂණයකට සහභාගී වූවන් මුඛ ආවරණ නොපැලඳ, කිසිදු සෞඛ්යාරක්ෂක පිළිවෙතක් අනුගමනය නොකර, ලොක්ඩවුන් විරෝධීන් ලෙස හැසිරී තිබුනේ කොවිඩ්-19 වසංගතය බොරුවක් බව පවසමිනි.
"එන්නත තිබෙන්නේ ඔබව වඳභාවයට පත් කිරීමටයි. එම එන්නත මගින් ඔබව පාලනය කිරීමට ඔවුන්ට හැකි වේවි" යනුවෙන් මීට සහභාගී වූ උද්ඝෝෂකයන් කෑමොර දී ඇත.
විශේෂයෙන්ම ලොක්ඩවුන් සීමාවන් නොරුස්සන, තම නිදහස ඉල්ලා සිටින පිරිසක් ලෙස මුලින් ආරම්භ වූ මෙවැනි කොවිඩ්-19 විරෝධතා වසංගතයේ පළමු වැනි රැල්ල අවස්ථාවේදීද ඇති වූ අතර, එයින් වසංගතය අවසන් වීමට වඩා වසංගතය තවදුරටත් ඔඩුදිවීමට හේතු විය. මෙවර වසංගතයේ දරුණු අවස්ථාවක් පවතින තත්ත්වයක මෙවැනි විරෝධතා වසංගතය තවදුරටත් පාලනයෙන් ගිලිහෙන තත්ත්වයක් ඇති කරන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
විශේෂයෙන්ම මෙම විකල්ප කණ්ඩායම් විසින් වසංගතය පාලනය කිරීමට ගෙනඑන එන්නත්කරණ වැඩසටහන්ද විවේචනය කරන අතර, මෙම එන්නත්වලින් මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් විශාල ලෙස ලාභ ලබන්නේ යැයි වැනි විවිධ කටකතා ඇමෙරිකානු හා යුරෝපා රටවල පැතිර යමින් තිබේ.
කෙසේ වෙතත් පක්ෂග්රාහී නොවන කරුණු පරීක්ෂා කිරීමේ ආයතනයක් වන පොලිටිෆැක්ට දත්ත අනුව, ගේට්ස් හෝ ඔහුගේ පදනම කොවිඩ්-19 එන්නත්වලින් ලාභ ලබන බවට කිසිදු සාක්ෂියක් හමුවී නොමැත.
2021 දී සෞඛ්‍ය විශේෂයන් බිය වන්නේ මෙම විකල්ප කණ්ඩායම්, කරුණු රහිත විශ්වයන් පෙරදැරි කරගෙන, වෛරසයට එරෙහි සටනේ වැදගත් අවියක් වන එන්නත ලබා ගැනීමට පසුබට වීම ගැනය.
"කොවිඩ්-19 පරාජය කිරීම සඳහා, මෙම රෝගය සඳහා වූ අපගේ සාමූහික ප්‍රතිචාරයට නිරන්තරයෙන් බාධා පමුණුවන අවිශ්වාසයේ සමාන්තර වසංගතයද අප පරාජය කළ යුතුයි" යනුවෙන් ජාත්‍යන්තර සංවිධාන අනතුරු අඟවයි.