කොවිඩ්-19 වෛරසය සම්ප්‍රේෂණය කිරීම වැළැක්වීමේ ප්රයත්නයන් වේගවත් කරන ලෙස රජයන්ගෙන් ඉල්ලා සිටීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කටයුතු කර තිබේ.
එක්සත් රාජධානියේ සහ දකුණු අප්‍රිකාවේ හඳුනාගෙන ඇති වෛරසයේ නව ප්‍රභේදය පිළිබඳ කනස්සල්ල මධ්‍යයේ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ඉල්ලීම කරයි.
සඳුදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් පෙන්වා දුන්නේ මෙම ජානමය වෙනස්කම් වෛරසය හැසිරෙන ආකාරය කෙරෙහි බලපාන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම සඳහා සංවිධානය විද්‍යාඥයන් සමග කටයුතු කරන බවය.
"මෙම නව ප්‍රභේදය වඩාත් පහසුවෙන් සම්ප්‍රේෂණය වන බව එක්සත් රාජධානිය වාර්තා කර ඇති නමුත් එය දරුණු රෝග හෝ මරණ සඳහා වැඩි ඉඩක් ඇති බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් නැහැ. මෙහි අවසාන කරුණ නම් අප හැකි ඉක්මනින් සියලුම SARS-COV-2 වෛරස් සම්ප්‍රේෂණය මැඩපැවැත්විය යුතු බවයි." වෛද්‍ය ටෙඩ්රොස් පැවසීය.
අධික ලෙස බෝවන නව කොවිඩ්-19 වෛරස ප්‍රභේදය, ගෝලීය භීතිකාව ඉහළ නැංවීම සහ සංචාරක අවුල් සහගත තත්ත්වයක් ඇති වේ යැයි බියෙන් රටවල් ගණනාවක් සඳුදා බ්‍රිතාන්‍යය කරා වූ සියලු දේශසීමා වසා දැමූහ.
වෛරස් විකෘති වීම සාමාන්‍ය දෙයක් වන අතර, එය පැතිරීම වැළැක්වීම සඳහා වැඩි වැඩ කොටසක් කළ යුතු බව වෛද්‍ය ටෙඩ්රොස් පැහැදිලි කළේය.
"අපි එය (වෛරසය) ව්‍යාප්ත කිරීමට ඉඩදෙන තරමට එය වෙනස් වීමට ඇති අවස්ථාව වැඩියි. සියලු රජයන්ට සහ සියලු ජනතාවට, සම්ප්‍රේෂණය සීමා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම කොතරම් වැදගත්ද යන්න මට අවශ්‍ය තරම් අවධාරණය කළ නොහැකියි." යනුවෙන් ටෙඩ්රොස් පැවසුවේ මෙහි ප්‍රබල වගකීමක් රජයන්ට සහ ජනතාවට ඇති බව අඟවමිනි.