ස්පාඤ්ඤයේ, වැලෙන්සියාහි පර්යේෂණ කණ්ඩායමක් එරට තුළ කොවිඩ්-19 පැතිරීම නිරීක්ෂණය කිරීම සඳහා ජානමය අනුක්‍රමික තාක්ෂණය භාවිත කිරීමට කටයුතු කර තිබේ.
ජෛව වෛද්‍ය විද්‍යාව පිළිබඳ නවතම පර්යේෂණයකින් වෛරසය පැතිරෙන්නේ කෙසේදැයි සොයා ගැනීමට මෙම ජානමය අනුක්‍රමණය භාවිත කර ඇත.
FISA ජෛව රසායනාගාරයේ අනුක්‍රමික කළමනාකරුවෙකු වන ඉනාකි කෝමාස් සහ ඔහුගේ බිරිඳ ලූසියා මාටිනස් ගෝලීය පර්යේෂණයන්හි ප්‍රමුඛතම කණ්ඩායමක කොටසකි.
"වෛරසයේ අනුක්‍රමණය පිළිබඳ දැනුම, යුරෝපය පුරා එය පැතිරීම හඳුනාගැනීම සඳහා සැබවින්ම වැදගත්. ඒ වගේම නව ප්‍රතිකාර හෝ එන්නත් සොයා ගැනීමේදී එය ඊටත් වඩා වැදගත්. අපට එය ප්‍රායෝගිකව තථ්‍ය කාලීනව තක්සේරු කළ හැකියි." පර්යේෂකයන් පවසයි.
ස්පාඤ්ඤ පර්යේෂණ කවුන්සිලයේ සේවය කරන කෝමාස්, "දැන් අපට වසර පහකට පෙර නොතිබූ මෙවලම් තිබෙනවා. අපට වසංගතයට එරෙහිව සටන් කිරීමට ඒවා භාවිත කළ හැකියි. ඔබට දැන් තථ්‍ය කාලීන තොරතුරු පවතිනවා. ඔබ රෝගවලට එරෙහිව සටන් කරන ආකාරය පිළිබඳ ඉතිහාසය තුළ 19 වැනි සියවසේදී එන්නත්වල විශාල වර්ධනයක් සිදුවුණා. 20 වැනි සියවසේදී ප්‍රතිවෛරස් සොයා ගැනුණා. 21 වැනි සියවසේදී අපට ජානමය වසංගත විද්‍යාව ලැබෙනු ඇති." කියා සිටියේය.
ඔවුන්ගේ අධ්‍යයනය මගින් රෝගීන් දහස් ගණනක් පරීක්ෂා කළ අතර, පෙබරවාරි මාසයේ දී වෛරසය ස්පාඤ්ඤය වෙත ගෙනඑන අවස්ථා 500කට වඩා හඳුනා ගෙන ඇත. එහිදී මිලාන් විලාසිතා සතිය සහ මැඩ්රිඩ් හි කලා උළෙල වැනි සිදුවීම් අධ්‍යයනය කර ඇත. කෙසේ වෙතත් වෛරසය ස්පාඤ්ඤයෙන් ආරම්භ වූ බවට තොරතුරු නොමැති බව පර්යේෂණ කණ්ඩායම සොයාගෙන ඇත.
ගිම්හානයෙන් පසු, ස්පාඤ්ඤයෙන් ජානමය විකෘතිතාවට ලක්වූ වෛරස ප්‍රභේද දෙකක් පැතිරීම යුරෝපය පුරා විශාල ආසාදන අනුපාතයකට හේතු වූ අතර, සමහර අවස්ථාවල එය කොවිඩ්-19 රෝගීන්ගෙන් 80%ක් පමණ විය. මෙම විකෘතිය එතරම් නිවැරදිව නිරීක්ෂණය කිරීමේ හැකියාව ජානමය අනුක්‍රමික තාක්ෂණයේ ප්රතිඵලයකි.
තථ්‍ය කාලීන අනුක්‍රමණය සඳහා විශාල ආයෝජනයක් අවශ්‍ය වේ. නමුත් කොවිඩ්-19 වැනි රෝග කාරකවල වේගයෙන් වෙනස් වන විකෘති සමග වේගයෙන් ගමන් කිරීමට විද්‍යාඥයන්ට එමගින් ඉඩදී ඇත්තේ, බලවත් සතුරෙකුට එරෙහිව බලවත් ආයුධයක් ලෙසිනි.