ඉන්දියාවේ අගනුවර වන දිල්ලියේ ටුක්-ටුක් රියදුරෙකු වන රාජ් කුමාර්ට අවශ්‍යව ඇත්තේ, වසංගතයෙන් මීදිම සඳහා නගරයේ පුරවැසියන්ට උපකාර කිරීම සඳහා තම උපරිමය කිරීමටය.
ඉන්දියාවම ගිලගෙන ඇති ඒ මහා වසංගතය හමුවේ තමන්ට විශාල දෙයක් කළ නොහැකි වුවත්, ත්‍රිරෝද රථ රියැදුරෙකු ලෙස මීට පෙර කටයුතු කළ රාජ් කුමාර්, දැන් තම පුංචි වාහනය ගිලන් රථයක් බවට පරිවර්තනය කරගෙන ඇත.
එය ගිලන් රථයක් ලෙස පරිවර්තනය කළේ යැයි මෙහිලා සඳහන් කළද, සාමාන්‍ය ගිලන් රථයක ඇති පහසුකම් එහි නොමැත. නමුදු කොවිඩ්-19 වසංගතයෙන් ආසාදිත වන පුද්ගලයන්ට රෝහලක් කරා යෑමට සාමාන්‍ය ගිලන් රථයක් තබා, වාහනයක්වත් සොයාගැනීමට නොහැකි වටපිටාවක ඔහු නිර්ලෝභීව තම ටුක්-ටුක් රථයේ නංවාගෙන අසරණ වූ රෝගීන් රෝහල් වෙත රැගෙන යන්නේ කිසිදු මුදලක් අය නොකරය.
කොවිඩ් -19 හි මාරාන්තික දෙවැනි රැල්ලට එරෙහිව නගරය අරගලයක නිරතව සිටින මොහොතක ගිලන්රථ හිඟය නිසා රාජ් කුමාර්ගේ මේ සේවය විශාල උපකාරයක් වී ඇත.
මේ අතර බෝපාල්හි ත්‍රිරෝද රථ රියදුරෙකු වන ජාවෙඩ් සිය ටුක්-ටුක් රථය ගිලන් රථයක් බවට පරිවර්තනය කර ඇත්තේ, ඊට හදිසි රෝගීන්ට ලබාදීමට අවශ්‍ය ඔක්සිජන් පහසුකම්ද පසෙකින් සවිකර ගනිමිනි.
ජාවෙඩ් ඛාන්ද, රාජ් කුමාර් මෙන්ම මේ සියලු සේවාවන් නොමිලේ සැපයීම විශේෂත්වයකි. මෙම දැවැන්ත අර්බුදය මධ්‍යයේ දුක් විඳින ජනතාව වෙනුවෙන් ජාවෙඩ්ගේ පරාර්ථකාමී ක්‍රියාව මේ වනවිට ඉන්දියාව පුරා බොහෝ පැසසුමට ලක්ව ඇත.
පසුගිය මාසයේදී දිල්ලියේ ආසාදන වේගයෙන් ඉහළ යද්දී රෝහල් ඇඳන්, ඖෂධ මෙන්ම දැඩි ඔක්සිජන් හිඟයක්ද ඇති වූ බව නොරහසකි. ඉන්දියාවේ කෝවිඩ්-19 මරණ තියුණු ලෙස ඉහළ යාමට මෙම අර්බුදය හේතු වූ අතර, ඒ ව්‍යසනය මැද මෙවැනි මිහිපිට දෙවිවරුද ජනතාවගේ පිහිටට පැමිණියේය.