බ්‍රසීලය ගෙවීගිය දිනයේ නව කොරෝනා වෛරසය ආශ්රිත මරණ 1,124ක් වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව අද (30දා) අලුයම වනවිට කොවිඩ් -19 මරණ 27,121ක් වාර්තා වී ඇති ස්පාඤ්ඤයට වඩා බ්‍රසීලයේ රටපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, එම අගය දැක්වෙන්නේ 27,878ක් ලෙසිනි.
එමෙන්ම නව කොරෝන වෛරසය ආසාදිතයන් 26,928ක්ද ගෙවීගිය දිනයේ බ්‍රසීලය විසින් වාර්තා කර ඇති අතර, එය රටේ තවත් වාර්තාගත ඉහළ අගයක් වන බවත්, මේ සමග රට පුරා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 465,166ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ අනුව බ්‍රසීලය දිනකට මරණ 1,000කට වඩා අඛණ්ඩව වාර්තා කළ සිව්වැනි දිනය ගෙවීගිය සිකුරාදා දිනයයි.
බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ සහ ඔහුගේ රජය වගකීමෙන් තොරව හැසිරීම, ඔහු ජනතාවට ආදර්ශයක් නොවීම මේ ආකාරයෙන් බ්‍රසීලය දරුණු ඛේදවාචකයකට මුහුණදීමේ ප්‍රධාන හේතුව බවට පත්ව තිබේ.
විශේෂයෙනම් මුඛ ආවරණයක් හෝ නොමැතිව ජනතාව අතරට යෑම, වෛරසය පුංචි උණක් සේ සැලකීම, සමාජ දුරස්ථකරණයට පයින් ගැසීම ආදී මේ සියලු ක්‍රියා රටේ පාලකයා ලෙස ඔහුත්, ඔහුගේ රජයත් ජනතාවට ආදර්ශයෙන් නොපෙන්වීය. අවසානයේදී ඔහු පසුපස ගිය ජනතාව අද එකාපිට එකා මැරෙමින් වැටෙන දසුන බ්‍රසීලයේ සාමාන්‍යකරණය වෙමින් ඇත. මෙවැනි භයානක වසංගතයක් අවස්ථාවේදී ජන නායකයාගේත්, රජයේත් වගකීම හා ආදර්ශය වඩාත් ජනතාවට ඉස්මතු විය යුතු බව විශේෂඥ මතයයි.