වසූරිය, පෝලියෝ සහ HIV වැනි දේ සම්බන්ධයෙන් එක්සත් ජනපදය ඓතිහාසිකව පෙරමුණ ගෙන තිබුණත්, මෙවර කොවිඩ්-19 ප්‍රතිචාරයත් සමග අනෙකුත් රටවල් වේගයෙන් ඉදිරියට ගොස් ඇති බව මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පවසයි.
වසංගතය සඳහා සෞඛ්‍ය සේවා සඳහා අරමුදල් සම්පාදනය කරන බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේද නිර්මාතෘවරයා වන බිල් ගෙට්ස්, මෙහිදී නම් වශයෙන් සඳහන් නොකළද, බොහෝ රටවල් ප්‍රමාණයක් එක්සත් ජනපදයට වඩා වේගයෙන් ඉදිරියට යන බව පවසා සිටියේය.
විශේෂයෙන්ම සාර්ස් සහ මර්ස් වැනි වෛරස සමග සටන් කර පෙර අත්දැකීම් ඇති රටවල් වේගවත්ම හා ශක්තිමත් ආකෘති පිහිටුවා ගත් බව ගේට්ස් සඳහන් කළේය.
"ඔබ එක්සත් ජනපදයට ලකුණු දෙන්න ගියොත්, අපේ දේශීය ප්‍රතිචාරය ඉතා දුර්වලයි. එය වැඩිදියුණු කළ හැකියි. මොකද අපේ පර්යේෂණ හා සංවර්ධන ප්රතිචාරයන්, එන්නත් සහ චිකිත්සාව සඳහා අරමුදල් සැපයීම් ලෝකයේ හොඳම ඒවායි."
උදාහරණයක් ලෙස බැලීමේදී එක්සත් ජනපදයේ පරීක්ෂණ මන්දගාමී වී ඇති බවද ගේට්ස් පැවසීය.
"එක්සත් ජනපදය දැන් ක්‍රමයෙන් විවෘත වෙමින් තිබෙනවා. මෙවැනි පසුබිමක පරීක්ෂණ කාලය මෙතරම් දීර්ඝ වෙන්න බැහැ. ඒ වගේම මත්පැන් ශාලා සහ අවන්හල් වැනි දේ විවෘත කිරීම සම්බන්ධයෙන් අප වඩාත් විචක්ෂණශීලී විය යුතුයි." ගේට්ස් සඳහන් කළේය.
මේ අවස්ථාවේදී එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානවල තිරය පිටුපස සිට කටයුතු කරන අය කවුරුන්ද යන්න අනාවරණය කළ යුතු බව පැවසූ ගේට්ස්, ජාතික ආසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි ඉතා වැදගත් ලෙස කතා කිරීම ගැන ප්‍රශංසා කළේය.