එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් (ඇමති) මැට් හැන්කොක් සිය කාර්යාලයේ සහායිකාවක සිප වැලඳ ගැනීමේ ඡායාරූපයක් එරට පුවත්පතක පළවීමෙන් පසුව, තමා කොවිඩ්-19 මඟපෙන්වීම කඩකළ බව පිළිගනිමින් අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
බොරිස් ජොන්සන්ට හැන්කොක්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබී ඇති අතර, අගමැතිවරයා එය පිළිගෙන ඇති බව සඳහන් වෙයි.
"අපි වසංගතයට එරෙහිව සටන් කිරීමට රටක් ලෙස බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කළා" හැන්කොක් පැවසීය. "මේ ඉල්ලා අස්වීම තුළින් මට අවශ්‍ය අවසාන දෙය නම්, මගේ පෞද්ගලික ජීවිතය හේතුවෙන්, මෙම අර්බුදයෙන් මිදීමට අපව ඉදිරියට ගෙනයන ඒකායන මනසකින් යුතු අවධානය වෙනතකට යොමු නොකිරීමයි" හැන්කොක් වැඩිදුරටත් පැවසීය.
කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමට නායකත්වය දුන් හැන්කොක්ගේ කාර්ය භාරයට අගමැති ජොන්සන් ප්‍රශංසා කළේය.
"ඔබේ සේවය ගැන ඔබ ඉමහත් ආඩම්බර විය යුතුයි" ජොන්සන් ලිවීය. "ඔබගේ සහයෝගයට මම කෘතඥ වන අතර, රාජ්‍ය සේවයට ඔබගේ දායකත්වය තවමත් අවසන් වී නොමැති බවද මා විශ්වාස කරනවා."
පසුගිය වසරේ ඔහු තමා යටතේ සහායිකාවක ලෙස සේවයට ගත් සිය මිතුරියක වූ ජිනා කොලඩන්ජෙලෝව සිප වැලඳගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපය මගින් සමාජ දුරස්ථ මඟපෙන්වීම් කඩකිරීමක් සිදුකළ බව හැන්කොක් විසින්ම පිළිගැනීමෙන් පසු මෙම ඉල්ලා අස්වීම සිදුවිය.
"මෙම තත්වයන් තුළ සමාජ දුරස්ථ මඟපෙන්වීම මා විසින් උල්ලංඝනය කළ බව මා පිළිගන්නවා" හැන්කොක් චෝදනාවලට සිය මූලික ප්‍රතිචාරයේදී පැවසීය.
"මම මේ හැසිරීමෙන් ජනතාවට වරදක් කළා, ඒ ගැන මට කනගාටුයි. මේ වසංගතයෙන් රට ගලවා ගැනීම සඳහා වැඩ කිරීම කෙරෙහි මම තවදුරටත් අවධානය යොමු කරනවා. ඒ වගේම මේ අවස්ථාවේදී මගේ මගේ පවුලේ උදවියටත් කෘතඥ වෙනවා." හැන්කොක් සිය පවුලේ උදවිය ගැනද සඳහන් කර තිබුණේ, මෙය පවුල් ප්‍රශ්නයක් දක්වාද දුරදිග ගොස් ඇති බැවිනි.
අදාළ ඡායාරූපය පළ කර තිබූ පුවත්පත පැවසුවේ විවාහක හැන්කොක් සහ සහායිකා ජිනා කොලඩන්ජෙලෝගේ ඡායාරූපය පසුගිය මාසයේ ගත් එකක් බවයි. එය ආරක්ෂක කැමරාවකින් උපුටාගත් එකක් බව කියැවේ.
2000 දශකයේ මුල් භාගයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ සිටියදී හැන්කොක් සහ ජිනා අතර දැන හැඳින ගැනීම් සිදුව තිබේ. ඇය මේ වනවිට විධායක නොවන අධ්යක්ෂවරියක් ලෙස සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ලැයිස්තුගත වී සිටියි.