Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
කෝවිඩ් 19 වෛරසය ගෝලීයව ව්‍යාප්ත වෙමින් මිනිස් ජීවිත බිලිගනිද්දී එයට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කෙරෙහි ලොව ප්රමුඛ පෙළේ රටවල අවධානය යොමු විය. ඒ අනුව මේ වන විට එන්නත් කිහිපයක් විවිධ රටවලින් හඳුන්වා දී තිබෙයි. Pfizer- BioNTech , Moderna,Oxford - AstraZeneca ,රුසියාවේ Sputnik, චීනයේ Sinovac ආදිය ඒ අතර වේ. පසුගිය වර්ෂයේ අවසන් මාසය වන විට ලෝකයේ ධනවත් රටවල් රැසක් කෝවිඩ් එන්නත් එක්රැස් කරගැනීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකර තිබිණ. මේ හේතුව නිසාම දුප්පත් රටවලට එන්නත් කිරීමේ හැකියාව ඉතා අඩු ප්‍රතිශතයකට වැටී ඇති බවට ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන සංවිධාන සඳහන් කර තිබිණ. ඒ අනුව ලෝකයේ සිටින සියලුමදෙනා අතර කෝවිඩ් එන්නත සාධාරණ අයුරින් බෙදා වෙන්කර දීම වෙනුවෙන් Covax නමින් ක්‍රියාදාමයක්ද ආරම්භ කර ඇත.
කෙසේ හෝ ඇතැම් රටවල් තම තමන්ගේ රටට ගැළපෙන එන්නත ඇණවුම් කිරීම වෙනුවෙන් අදාල ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර, තවත් රටවල් මේ වන විට එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී. මේ අතර ඉන්දියාව විසින් නිෂ්පාදිත කෝවිඩ් එන්නත බෙදාහැරීම ඊයේ (20දා) දින සිට ආරම්භ කෙරිණ. ඒ අනුව එය භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියෙන්මාරය සහ සීෂෙල්ස් රාජ්‍යයන් වෙත පළමු අදියර යටතේ බෙදාහරින්නට කටයුතු කර ඇති බව පෙරේදා දින ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණ. ඉන්දියාව මෙරට අසල්වැසියා ලෙස මෙම එන්නත් ශ්‍රී ලංකාවට ලබාදීමට කැමැත්ත දක්වා තිබුණත්, මෙරට නීතිප්‍රකාරව අවසර ලබාගැනීමේ කටයුතු තවමත් ප්‍රමාද නිසා පළමු අදියරේදී එන්නත් අප රටට නොලැබෙනු ඇති බවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාල වාර්තා උපුටා දක්වමින් මෙරට මාධ්‍ය වාර්තා කර තිබිණ.
කෙසේ හෝ මෙරටට ගැළපෙන එන්නත ගැන තීන්දු තීරණ ගෙන ඒවා ඇණවුම් කිරීම සම්බන්ධ ක්‍රියාවලියේ යම් ප්‍රමාදයක් පවතින බවට ජනතාව මැසිවිලි නගති. මේ ඒ පිළිබඳව කරන මත විමසුමකි.
මෙරටට ගැළපෙන එන්නත් තෝරා ගැනීම
එන්නත් වර්ග ගබඩා කිරීමේ උෂ්ණත්වයන්, දේශගුණික තත්ත්ව මත මෙන්ම තවත් කරුණු කාරණා සැලකිල්ලට ගනිමින් මෙරටට ගැළපෙන එන්නත පිළිබඳ තීරණයන් ගනු ලබන්නේ විද්වත් කමිටුවකිනි. ඒ අනුව පසුගිය මස අවසන් වන විට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දෛනිකව රැස්වන කමිටුවේ අවධානය යොමුව ඇත්තේ රුසියාවේ ස්පුට්නික්, චීනයේ සිනොවැක් හා ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රා සෙනේකා යන එන්නත් සම්බන්ධව බවයි.
එසේම පසුගිය සතියේ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාද නුවර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා තිබුණේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් නිපදවූ එන්නත පෙබරවාරි මැද භාගයේ සිට ලබාදීමට හැකිවනු ඇති බවය. කෝවිඩ් වලට එරෙහිව නිෂ්පාදනය කළ ෆයිසර් එන්නත අධික ශීත ස්ථානයක ගබඩා කළයුතු නිසා, එය මෙරට තුළ ප්‍රායෝගිකව භාවිතයට අපහසු බවද අමාත්‍යවරයා සඳහන් කර තිබිණ. කෙසේ හෝ මෙරටට වඩාත්ම සුදුසු එන්නත ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් නිෂ්පාදනය කළ එන්නත බවට වෛද්‍ය අංශ තහවුරු කළ බවද හෙතෙම පවසා තිබිණ.
ඒ පිළිබඳව තවදුරටත් බලාපොරොත්තු ඇති කරමින ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කෝවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගිය සති අන්තයේ සඳහන් කර තිබුණේද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙන්කා එන්නත පෙබරවාරි මැද මෙරට ජනතාව වෙත ලබාදෙන බවයි.
මේ පිළිබඳව තවදුරටත් තහවුරුකරමින් පෙරේදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කර තිබුණේ පෙබරවාරි අග වන විට මෙරට ජනතාවගෙන් මිලියන 11කට කෝවිඩ් එන්නත ලබාදෙන බවය. තවදුරටත් පැහැදිලි කරමින් ඔහු සඳහන් කර තිබුණේ එන්නත් වර්ග 4ක් ගැන අවධානය යොමුවී තිබෙන බවය. ඒ අනුව එන්නත්කරණයේදී 50%කට නොමිලේ එන්නත් ලබාදීමට රජය සැලසුම්කර ඇති බවද වාර්තා විය. එසේම එන්නත්කරණය ප්‍රමුඛතා ලැයිස්තු සකස්කර ඒ අනුව සිදුකිරීමට නියමිත බවද අමාත්‍යවරයා පවසා තිබිණ.
එන්නත් ලැබෙන්නේ කාටද?
කෝවිඩ් සම්බන්ධයෙන් දෛනිකව රැස්වන කෝවිඩ් කමිටුව මෙන්ම එන්නත් ගැන තීරණය කිරීමේ විද්වත් කමිටුව ආදී කමිටු මගින් මේ වන විට කෝවිඩ් එන්නත් ලබාදිය යුතු ප්‍රමුඛතා ලැයිස්තු පිළිබඳ අදහසක් මෙරට ජනතාවට ලබා දී තිබේ. ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්රයේ නියැළෙන්නන්, අවුරුදු 60ට වැඩි පුද්ගලයන්, ජන ඝනත්වය වැඩි ප්‍රදේශවල පුද්ගලයන්, මහල් නිවාසවල පදිංචිකරුවන් ආදී අවදානම වැඩි ප්‍රදේශවල ජීවත්ව සිටින අය කෙරෙහි අවධානය යොමුවී තිබේ. ලෝක බැංකුව, යුනිසෙෆ් සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුවේ සහය මේ සඳහා ලැබෙනු ඇති බවට රජය අපේක්ෂා කර සිටියි.
මේ, කෝවිඩ් එන්නත මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් පවතින වත්මන් තත්ත්වය පිළිබඳ විද්වතුන්, විශේඥ වෛද්‍යවරුන්, ජනතා නියෝජිතයන් දැක්වූ අදහස්ය.
අපි ජනතාවට ලබාදෙන්නේ ඉතාම ගුණාත්මක හා තත්ත්වයෙන් ඉහළ එන්නත් -සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පාලිත කරුණාපේම
කෝවිඩ් 19 වෛරසය වළක්වා ගැනීම සඳහා වන එන්නත් මෙරටට ගෙන ඒම සඳහා වැඩකටයුතු රාශියක් සෞඛ්‍ය අමාත්‍යවරියගේ හා රජයේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙනවා. මේ සම්බන්ධයෙන් අපි ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධිත Covax වැඩසටහනට, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස්කරන ලද සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නට පසුගිය දිනක කටයුතු කර තිබෙනවා. ඒ අනුව අපේ රටට මේ එන්නත කුමන ආකාරයෙන් ලබාගත හැකිද? ඒ සඳහා කළයුතු වැඩපිළිවෙළ ආදිය ගැන විමසා බලනවා. ඒත් එක්කම මේ සතිය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය සේවා අධ්යක්ෂතුමා වැඩිදුර පැහැදිලි කිරීමක් මේ සම්බන්ධයෙන් ජනතාව වෙත ඉදිරිපත් කරනු ඇති. එහිදී මේ එන්නත කුමන කාලයකදී අපිට ලබාගන්නට හැකිවේවිද? මොන වගේ ක්‍රමවේදයක් මේ සඳහා භාවිත කරනවාද? එන්නත ලබාදෙන්නේ කුමන කාණ්ඩයකටද? යන දේ ගැන සියලුදෙනාව දැනුම්වත් කරාවි. නමුත් අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕන නෝර්වේ රාජ්‍යයේ කෝවිඩ් එන්නත් ලබාදීමෙන් පසුව වයස්ගත අයගේ මරණ වාර්තා වෙන බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ සියලුම කාරණා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තත් සමග වසංගත රෝග අංශය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ කණ්ඩායම් ඉතාම සුපරික්ෂාකාරීව අධ්‍යයනය කරනු ලබනවා. අපි ජනතාවට ලබාදෙන්නේ ඉතාම ගුණාත්මක හා තත්ත්වයෙන් ඉහළ එන්නත් බව අනිවාර්යයෙන් පවසන්න ඕන.
ඒ වගේම කියන්න අවශ්‍යයි ඇතැමුන්ගේ හැඟීමක් තිබෙනවා මේ එන්නත ලබාගත් පසු කෝවිඩ් වලින් ආරක්ෂා වීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග වලින් නිදහස් වෙන්න පුළුවන් කියලා. එය ඉතාම වැරදි අදහසක්. අපි මේ එන්නත ලබාගත් පසු සිදුවන්නේ සංකූලතා අඩු වීමත්, මරණ අනුපාත අඩුවීමත් වගේ දේවල්. යම්කිසි ප්‍රමාණයක් තමයි මේ රෝගයේ පැතිරීම අඩු වෙන්නේ. එන්නත විද්දා කියලා පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙක්ට රෝගය පැතිරීමේ හැකියාව අඩු වුණාට පැතිරීම සම්පූර්ණයෙන්ම නවත්වන්න මේ එන්නත්වලට බැහැ. ඒ නිසා අපි ගතයුතු සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ලබාගැනීම අවශ්‍යයි. විශේෂයෙන් සබන් දා අත් සේදීම, මීටරයක දුර පවත්වා ගැනීම, මුව ආවරණ පැලඳීම, කුඩා ස්ථානවල කණ්ඩායම් වශයෙන් රැස්වීමෙන් වැළකීම වැනි සෞඛ්‍ය උපදෙස් අනිවාර්යයෙන් පිළිපදින්න අවශ්‍යයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් හරි තීන්දුවක් අරගෙන නැහැ - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලීන්ද ජයතිස්ස
පසුගිය මාස 09ක පමණ කාලයේදී ලෝකයේ විවිධ රටවල් කෝවිඩ් එන්නත් සම්බන්ධයෙන් පරීක්ෂණ කළා. මේ වනවිට එන්නත් කිහිපයක පරීක්ෂණ අවසන් අදියරට ඇවිත් තිබෙනවා. ඒ වගේම “හදිසි තත්ත්වයක්” වර්ගීකරණය යටතේ එන්නත් ලියාපදිංචි කර තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල් තමන්ට එන්නත් ලබාගැනීම සඳහා ඉල්ලීම් කරලා තිබුණා. නමුත් අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සඳහා ඉල්ලීම් කළේ කොයි කාලෙද කියලා අපි දන්නෙ නැහැ. මේ වසර තුළ එන්නත් බිලියන 08ක් නිෂ්පාදනය කළයුතු බවට පසුගිය ජුලි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කරලා තිබුණා. එයින් බිලියන 20ක් ලෝකයේ ඌණ සංවර්ධිත රටවල් එහෙම නැතිනම් දුප්පත් රටවල්වලට ලබාදෙන්නත් තීන්දුවක් ගත්තා. ලෝකයේ බලවත් රටවල් වලින් සියලු එන්නත් ලබාගන්න නිසා එය වැළැක්වීමේ අරමුණෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ තීරණය ගත්තා. ලෝකයේ රටවල් 170ක් පමණ කොවැස් කියන මේ වැඩපිළිවෙළට ඉල්ලුම් කළා. අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඉල්ලුම් කළා කියලා කියනවා. කොහොම උනත් ඒක තීන්දු වෙන්නේ විවිධ සමාගම් වලින් කොපමණ එන්නත් නිපදවනවාද කියන තීරණය මතයි. එහෙම නැතුව අපේ ජනගහනය ගැන කියලා යැවූ පමණින් එන්නත ලැබෙන්නේ නැහැ. අනිත් අතට අපි රටක් විදිහට තීන්දු කළ යුතුයි අපි ගන්නේ කුමන එන්නතද කියන එක ගැන. ඒ මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සියයට විස්සකට එන්නත ලබාදීම ගැන තීන්දු කළත්, ඉතිරි සියයට අසූවට එන්නත ගන්න අපිට වැඩපිළිවෙළක් තිබිය යුතුයි. නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හරි තීන්දුවක් අරගෙන තියෙනවා කියලා මට පෙනෙන්නේ නැහැ. ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, ලේකම්වරු, අධ්යක්ෂ ජනරාල්වරු, වසංගත රෝග ප්‍රධානියා විටින් විට විවිධ දේවල් කියනවා. සමහරු කිව්වා පෙබරවාරි 05 වෙද්දි එන්නත ගේනවා කියලා. චීන එන්නත එනවා කිව්වා, රුසියාව එන්නත දෙන්න එකඟයි කියලා කිව්වා, ඉන්දියාවෙන් එනවා කියලා කියනවා. කොහොම උනත් කුමන එන්නතද ගෙන්වන්නේ කියලා පැහැදිලිතාවයක් නැහැ. ඒ වගේම ගෙන්නන එන්නත අනුව අපේ ගබඩා පහසුකම්, ප්‍රවාහනය ආදීය තීන්දු වෙනවා. මේ දේවල්වලට අපි කලින් සූදානම් විය යුතුයි. ඒ වගේම එන්නත්කරණය වෙනුවෙන් අපේ සෞඛ්‍ය කාර්යමණ්ඩලය සූදානම් කළයුතුයි. ඉන්දියාව ඒ සඳහා පූර්ව ක්‍රියාවක නිරත වෙනවා අපි දැක්කා. නමුත් මේ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩ කරනවා අපිට පෙනෙන්නේ නැහැ. ආණ්ඩුව මේ ගැන විවිධ කතා විටින් විට කියනවා. ඒවා අහගෙන ඉන්න තමයි තිබෙන්නේ.
එන්නත වෙනුවෙන් එක් අවස්ථාවක ආණ්ඩුව ලෝක බැංකුවෙන් බිලියන 10ක් ඉල්ලලා තිබුණා. සීනී ගැසට් ගහලා බිලියන 10ක් අපි අහිමිකර ගත්තේ මේ කාලයේදී තමයි. ඊට පසුව ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ගන්නවා කිව්වා. ආණ්ඩුවේ එක එක ඇමතිවරු මාධ්‍ය ප්‍රචාර ගන්න තමන්ට හිතෙන දේවල් මයික් එකක් ඉස්සරහට ඇවිත් කියනවා. නමුත් ඒවා රජයේ ප්‍රකාශද කියලා පැහැදිලි නැහැ. මොකද ඇමතිවරු කියපු ප්‍රකාශ ඇත්ත උනා නම් මේ වෙද්දි එන්නත විතරක් නෙවෙයි පැණියත් සාර්ථක වෙලා තියෙන්න ඕන
රටේ මිනිස්සුන්ට ඉක්මනින් එන්නතත් ලබාදීම ආණ්ඩුවේ වගකීම - සමන් රත්නප්‍රිය, රාජ්‍ය හෙද නිලධාරීන්ගේ සංගමය
කෝවිඩ් - 19 වසංගත තත්ත්වය ඉතාම බරපතල ලෙස ව්‍යාප්ත වෙමින් පවතින නිසා, මිලියන ගණනක මරණ වගේම තවත් මිලියන ගණනක රෝගීන් වාර්තා වෙනවා. අපේ රටෙත් විශාල වශයෙන් රෝගීන් වාර්තා වෙනවා. මේ තත්වය යටතේ එන්නතක අවශ්‍යතාවය ලෝකය මතු කළ නිසා තමයි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් එන්නත් කිහිපයක් සොයා ගත්තේ. මේ අතරින් හදිසි අවස්ථාවන් යටතේ භාවිත කරන්න එන්නත් කිහිපයකට අවසර හිමිව තිබෙනවා. එංගලන්තයේ එන්නතට අවසර දීලා නැහැ. ලංකාවට එන්නතක් ගෙනත් එය මිනිස්සුන්ට ලබාදීමට වැඩපිළිවෙළක් තිබෙනවා කියලා අපිට පෙනෙන්නේ නැහැ. ආණ්ඩුවේ අය විවිධ කතා කිව්වත්. තවම කිසිවක් සිදුවෙලා නැහැ. එන්නතක් ගෙන ඒමට ආණ්ඩුව ලෝක බැංකුවෙන් බිලියන 10ක් ඉල්ලුවත්, එය ලැබුණේ නැහැ. මිනිස්සු මරණයෙන් මුදවා ගන්නත්, ජනතාව අතර රෝගය පැතිරීම වළක්වන්නත් එන්නතක් ලබාගැනීම අනිවාර්යෙන්ම කළයුතු දෙයක්. නමුත් ආණ්ඩුවට ඒ වෙනුවෙන් සල්ලි නැද්ද කියන ප්රශ්නය අපිට තිබෙනවා. ඒමොකද මේ ගැන කියමින් ණය ඉල්ලමින් ආණ්ඩුව තැන තැන යනවා. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. රුපියල් බිලියන 10ක් පමණ හොයාගෙන එන්නත ගෙනත් රටේ මිනිස්සුන්ට ලබාදෙන එක ආණ්ඩුවේ වගකීම. ඒක ආණ්ඩුව වහාම කළ යුතුයි. නමුත් මේ සඳහා කුමන එන්නතක් ගෙන්වනවාද කියන කාරණය ගැන කිසිම පැහැදිලි කිරීමක් නැහැ. ඔක්ස්ෆර්ඩ් එන්නත ගෙන්වනවා කියලා කෝව්ඩ් භාර ඇමති සුදර්ශනී කියනවා. නමුත් එයට රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් වෙලා නැහැ. ෆයිසර් එන්නත ගෙන්වන්න ලංකාවට අපහසුයි. චීනයේ සහ ප්‍රංශයේ එන්නත් තිබෙනවා. රාජ්‍ය ඖෂධ සංස්ථාව රුසියානු එන්නත ලබාගන්න අවසර ඉල්ලලා තිබුණා. රාජ්‍ය ඇමතිනිය කියනවා එංගලන්ත එන්නත ගේනවා කියලා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කියනවා රුසියානු එන්නත ගෙන්වන්න අවසර ඕන කියලා. මොකක්ද මේ පරස්පරතාවය. ඒ ගැන පැහැදිලි කළ යුතුයි. ඒ වගේම රුසියානු එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය හිමිවෙලා නැහැ. ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇමතිවරයා කියනවා ලංකාවට එන්නත ගෙනැල්ලා එන්නත් කරපු අය ඉන්නවා කියලා. රාජ්‍ය ඇමතිවරයා එකක් කියද්දි ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇමතිවරයා තව එකක් කියනවා. ආණ්ඩුව මේ ගැන හරි පැහැදිලි කිරීමක් කළ යුතුයි. හොරෙන් එන්නත ගෙනත් ආණ්ඩුවේ හිතවතුන් පමණක් එන්නත ලබාගෙන සාමාන්‍ය මිනිස්සුන්ට එය ලබානොදෙනවා නම් ආණ්ඩුව කරන්නේ ඉතාම කැත වැඩක්.
කෝවිඩ් එන්නත් සම්බන්ධ පැහැදිලි විස්තරයක් ඉතා ඉක්මනින් ජනතාවට ගෙන ඒවි - වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර
කෝවිඩ් එන්නත පිළිබඳව අපේ රටේ මොකක්ද සිදුවෙන්නේ කියන කාරණය සම්බන්ධයෙන් මේ වෙලාවේ රටේ ජනතාව අතර කුකුසක් වගේම සැකයක් ඇවිත් තිබෙනවා. කෝවිඩ් 19 එන්නත පිළිබඳව ජනාධිපති කාර්යසාධක බළකායක් පත්කර තියෙනවා. ඒ තුළින් අදාළ කටයුතු සමාලෝචනය සිදුවෙනවා. ඒ වගේම තාක්ෂණික කමිටු හා උපදේශක කමිටු පිහිටුවා තියෙනවා. ඒවා තුළින් මේ එන්නත අපේ රටට හැකි ඉක්මනින් ගෙන්වා ගැනීමටත්, එන්නත ජනතාවට ලබාදී ජනතාව කෝවිඩ් 19 වසංගතයෙන් යම්කිසි ආරක්ෂාවක් ලබාගැනීම සඳහාත් කටයුතු සිදුවෙනවා. මේ පිළිබඳව පැහැදිලි විස්තරයක් ඉතාම ඉක්මනින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කිරීමට නියමිතයි. ඒ අතර අපි Covax පහසු ක්‍රම යටතේ අපේ රටේ ජනගහනයෙන් 20%ක ප්‍රමාණයක් සඳහා නොමිලේ එන්නත ලැබෙනවා.
ඊට අමතරව තවත් එන්නත් ප්‍රදානයන් අපේ රටට ලැබේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ජනතාවට ලබාදිය යුතු එන්නත් ඉතිරිය රජය මගින් මිලදී ගන්නට අවශ්‍ය කටයුතු කරනවා. ඒ පිළිබඳව පැහැදිලි විස්තර කඩිනමින් දැනුම් දෙන්න ලැබේවි. විශේෂයෙන් එන්නත මෙරටට එන්නේ කවදදාද?, ප්‍රමුඛතාවය දෙන්නේ කාටද?, එන්නත කොහේදීද ලබාගත හැක්කේ?, කොයි ආකාරයටද ලබාගත හැක්කේ කියන දේ අපිට ඉක්මනටම දැනගන්න ලැබේවි.
චාමර සම්පත්, කැලුම් දේවින්ද, නදීශානි පතිරණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd