එක්සත් ජනපද කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් සඳහා එක්සත් ජනපදයේ අවසරය ලැබීමෙන් පසු එම එන්නත ප්‍රසිද්ධියේ විද ගැනීමට තමන් කැමති බව එරට ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.
අනාගත සෞඛ්‍ය පිළිබඳ සමුළුවකට සහභාගී වෙමින් වෛද්‍ය ෆවුසි මෙම අදහස් පළ කර තිබේ.
"එක්සත් ජනපද නියාමකයන්, ඔවුන්ගේ වෘත්තීය විද්‍යාඥයන් සමග එන්නතක් ආරක්ෂිත හා ඵලදායී යැයි පැවසූ විට, මගේ වාරයේදී මමත් එම එන්නත ලබාගන්නවා." යැයි ෆවුසි පැවසීය. "මගේ මිතුරන් වන ජනාධිපති ක්ලින්ටන්, ඔබාමා, බුෂ් ඇතුළු පිරිසට එන්නත ලබාදෙන ලෙසද මා නිර්දේශ කරනවා."
හිටපු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන්, බැරක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යන අයද පවසා ඇත්තේ කොවිඩ්-19 එන්නත ප්‍රසිද්ධියේ විද ගැනීමට ඔවුන් කැමැත්තෙන් පසුවන බවය. එමගින් එන්නත් ලබාගැනීම කෙරෙහි ජනතාව උනන්දු කරවනු ඇති බව කියැවෙයි.