කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලැබීමෙන් පසු සුව වී රෝහලෙන් පිටත්ව ගිය ගාල්ලේ නරාවල කාන්තාවක් දින කිහිපයකට පසු නිවසේදීම මියගොස් ඇතැයි පෝද්දල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ නරාවල, පන්විල පාරේ පදිංචි 76 හැවිරිදි විවාහක කාන්තාවකි.
ඇයගේ සිරුර සම්බන්ධව හදිසි මරණ පරීක්ෂණය සිදුකළ පෝද්දල හදිසි මරණ පරීක්ෂක ටී.ටී.එම්.සරත් මහින්ද මහතා පවසන්නේ ඇය පසුගිය ජුනි 18 වැනි දා රෝගීව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ දී කරන ලද පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත බව හඳුනා ගෙන ඇති බවයි.
ක්‍රමයෙන් සුව වූ ඇය 30 වැනි දා කරාපිටිය රෝහලේ සිට සිය නිවසට ගොස් තිබේ. කෙසේ වුවද ඊයේ (11) අලුයම පැය 00.30ට පමණ ඇය මියගොස් ඇත. මරණයෙන් පසු ඇගේ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට යැවූ විට වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූයේ ඇගේ සිරුරින් පීසීආර් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.
පරීක්ෂණයෙන් අනාවරණය වූයේඇය මියයන අවස්ථාව වනවිටත් කොරෝනා ආසාදිතව සිටි බවයි.
කාන්තාවගේ සිරුර සම්බන්ධ පශ්චාද් මරණ පරීක්ෂණය කරාපිටිය රෝහලේඅධිකරණ වෛද්‍ය නිලධාරි එස්.රවීන්ද්‍රන් මහතා විසින් සිදුකරන ලද අතර කොරෝනා ආසාදිතව සුව වීමෙන් පසු ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මරණය සිදුවි ඇති බවට නිගමනය කරන ලදී.
දේහය සම්බන්ධ ආදාහන කටයුතු නිරෝධායන නීති වලට අනුකූලව අද (12) දහවල් දඩල්ල ආදාහනාගාරයේදී සිදුකරන ලදී.
පොලිසිය පවසන්නේ මියගිය කාන්තාවගේ පවුලේ සාමාජිකයෙකු ද පසුව කොරෝනා ආසාදිත වී ඇති බවයි.
සිරංගිකා ලොකුකරවිට