ලෝකයම වෙලාගෙන ඇති කොවිඩ්-19 වෛරසය මුලින්ම චීනයේ වූහාන් නගරයේ පැතිර යනවිට එය ලෝකයේ වෙනත් කොණක පැතිර යන වසංගතයක් ලෙස සලකා බොහෝ දෙනා එය නෑසූ කන්ව සිටියද, අද වනවිට ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 4ක සීමාව පසුකර ඇත්තේ වසංගත බිය සෑමදෙනා තුළම ඇති කරමිනි.
මේ වනවිට ලොව පුරා වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන් 40,333,146ක් දක්වාත්, මරණ 1,117,430ක් දක්වාත් ඉහළ ගොස් ඇති අතර, ඒ අතර වැඩිම ආසාදන එක්සත් ජනපදයෙන් (8,210,849ක්), දෙවනුවට ඉන්දියාවෙන් (7,550,273ක්) සහ තෙවනුවට බ්‍රසීලයෙන් (5,250,727ක්) වාර්තා වෙයි.
ශීත සෘතුව ළංවෙත්ම ආසන්න කාලසීමාවේදී ලොව පුරා ආසාදිතයන්ගේ යළිත් වර්ධනයක් දැකිය හැකි අතර, විශේෂයෙන් යුරෝපා කලාපයේ, එක්සත් ජනපදය ප්රමුඛ ඇමෙරිකානු කලාපයේ මෙන්ම, ඉන්දියාව ප්රමුඛව දකුණු ආසියානු කලාපයේද ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්වමින්, පසුගිය සෙනසුරාදා දිනයේදී පමණක් ලක්ෂ 4 ඉක්මවූ ආසාදන වාර්තා විය.
මුලින්ම චීනයෙන් දෙසැම්බර් මාසයේදී කොවිඩ්-19 ආසාදිතයෙකු හමුවීමේ සිට මාස තුනක පමණ කාලයකින් පසුව ලෝකයේ ආසාදිතයන් කෝටියක් ඉක්මවා ගියේය. නමුත්, එම අගය කෝටියේ සිට කෝටි 2ක් දක්වා වැඩිවීමට ඉන් අනතුරුව ගතවූයේ දින 44කි.
පසුව කෝටි 2ක සිට ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 3ක් වීමට තවත් දින 38ක් ගත වූ අතර, මේ වනවිට ආසාදන ලොව පුරා වැඩිවීමේ වේගය මොනවාට පැහැදිලි කරමින් මෙවර කෝටි 3 සිට කෝටි 4ක් දක්වා ආසාදන වැඩිවීමට ගතවී ඇත්තේ දින 32ක් පමණි. ඒ අනුව වසංගතය පාලනය කිරීම සඳහා සෑම අයෙකුටම වගකීමක් පැවරෙන බවත්, නිසි මහජන සෞඛ්‍ය පුරුදු ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ලොවපුරා සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.