මද්‍යසාර අලෙවියේදී මිලිලීටර් 180 බෝතල් (කාලේ බෝතල්) අලෙවිය නතර කිරීම සඳහා නව නීති හඳුන්වා දෙන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය, වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
සභාපතිවරයා පෙන්වා දුන්නේ, මත්පැන් මිලිලීටර් 180 බෝතල් අලෙවිය වැඩි වීම හේතුවෙන් ඇති වන හානිය වළක්වාලීම මෙන්ම ඉවතලන බෝතල් හේතුවෙන් සිදුවන පරිසර හානිය වළක්වා ගැනීම වෙනුවෙන්ද දැඩි අවධානයක් යොමු විය යුතු බවයි.
මීට අමතරව තනි සිගරට්ටුව අලෙවි කිරීම වැළැක්වීමේ නීති සකස් කිරීම සඳහා අවශ්‍ය යෝජනාවලිය, 2019 වසරේදී අමාත්‍ය මණ්ඩලයට දෙවරක් ඉදිරිපත් කළ නමුත්, එය ඉදිරියට ගෙන යාමට නොහැකි වූ බවත්, ඒ අනුව මෙම වසරේදී නව අමාත්‍ය මණ්ඩලයට එම යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම පවසා සිටියේය.
එසේම දුම්කොළ සහිත බුලත් විට අලෙවි කිරීම සපුරා තහනම් වන නමුත්, එම නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව තමාට නිරීක්ෂණය වන බව පැවසූ වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා, ඉදිරියේදී එම නීති ප්‍රකාරව කටයුතු කිරීමට දැඩි අවධානයකින් කටයුතු කිරීමට තීරණය කර ඇති බවද අවධාරණය කළේය.
දිවයින පුරා විසිරී සිටින සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන් සඳහා බත්තරමුල්ල පිහිටි වෝටර්ස් ඒජ් හෝටලයේදී ඊයේ (18දා) පැවති මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ මධ්‍යසාර නිවාරණය පිණිස නව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ පුහුණු වැඩසටහනක දේශනයක් සිදුකරමින් මෙලෙස ප්‍රකාශ කළ සභාපතිවරයා, එහිදී මේ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක නිරත වෙමින් පවසා සිටියේ,
"සිගරට් හා මධ්‍යසාර නිෂ්පාදන මත පනවා තිබෙන රජයේ බදු කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නෑ. බදු මගින් ලබා ගන්නා මුදල මෙන් අතිවිශාල ප්‍රමාණයක මුදලක් සිගරට් හා අරක්කු ඇතුළු මධ්‍යසාර ජනතාව භාවිත කිරීම නිසා ඇති වන හානි අවම කිරීම සහ ප්‍රතිකාර වෙනුවෙන් රජය වැය කරනවා.
මේ සියලු තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කරමින් 2006 අංක 27 දරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට සංශෝධන කඩිනමින් ගෙන එන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඉදිරි වසර පහ තුළදී මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් විප්ලවීය එළඹුමක් සිදු කිරීමට දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය බලාපොරොත්තු වෙනවා.
මේ යටතේ ඉදිරි කාලය තුළ මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ මධ්‍යසාර නිවාරණය පිණිස නෛතික රාමුව බලගැන්වීමත් පාර්ලිමේන්තුව තුළ සිදු කරන ප්‍රතිපත්ති සැකසීම හා නෛතික ප්‍රතිපාදන සැකසීමත් කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම අපේ බලාපොරොත්තුවයි. මෙතෙක් කොතරම් සාධනීය මැදිහත්වීම් සිදුකළත් දුම්කොළ කර්මාන්තයේ සහ මධ්‍යසාර කර්මාන්තයේ ලාභය කිසි ලෙසකින් හෝ අඩු වී නෑ. ඒ අනුව ඉදිරියේදී වඩාත් දැනෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතිනවා.
දුම් බීමට තහනම් ප්‍රදේශ යටතට මේ දක්වා සලකා ඇත්තේ විවෘත නැති පොදු ස්ථාන. කොහොම වුණත් අදාළ වගන්තිය යටතේ බොහෝමයක් පොදු ස්ථාන ආවරණය නොවන බව පෙනීගොස් තිබෙනවා. ඉදිරියේදී මෙම වගන්තිය සියලුම පොදු ස්ථාන ලෙස වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම වචනය වෙනස් කර ගැනීම පිණිස වසර ගණනාවක් තිස්සේ අධිකාරිය අනවරත අරගලයක යෙදී සිටිනවා.
මේ අතර දුම් රහිත දුම්කොළ හා ඒවා අඩංගු නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ අලෙවි කිරීම පනත යටතේ දැනටමත් සපුරා තහනම්. මෙම තත්ත්වය යටතේ දුම්කොළ සහිත බුලත් විට අලෙවි කිරීම සපුරා තහනම් වන නමුත් එම නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන බවක් නිරීක්ෂණය වෙනවා. ඒ අනුව ඉදිරියේදී අදාළ නීති ප්‍රකාරව දැඩි අවධානයකින් කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා" යනුවෙනි.