සෞඛ්‍යට අහිතකර ලෙස අධික දුගද හා පණුවන් සහිත නරක්වූ මත්ස්‍ය කිලෝ 3000ක් හා මත්ස්‍ය කොටස් කොළඹ සිට මන්නාරමට ප්‍රවාහනය කරමින් සිටියදී (24) සවස පුත්තලම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අත්අඩංගුවට ගෙන විනාශ කිරීම සිදු විය.
අදාල මත්ස්‍ය තොගය ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් බවත්, ඒ සමගම විශාල මත්ස්‍යයින්ගේ මත්ස්‍ය කොටස්ද මේ අතර, තිබූ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් සුරේෂ් මහතා පැවසීය.
මෙම මත්ස්‍ය තොගය කොළඹ සිට මන්නාරමට රැගෙන යමින් තිබියදී පුත්තලම නගරයේදී කැබ් රථය නවතා ඇති බවත්, එහිදී මෙම කැබ් රථයෙන් පිටවූ අධික දුගද පිළිබදව ජනතාව කඩිනමින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු දැණුවත් කර තිබුණි.
එම දැණුවත් කිරීමත් සමග වහාම එම ස්ථානයට පැමිණි මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් විසින් මෙම කැබ් රථය පරික්ෂා කර ඇති අතර, එහි අධික ලෙස දුගද වහනය වෙමින් තිබූ බවත්, ඒ සමගම පණුවන්ද සිටි බව කියයි.
මේ අනුව අදාල කැබ් රථය පුත්තලම නගර සභා කසළ අංගනයට රැගෙන ගොස් බැරල් තුළ දමා තිබූ මත්ස්‍ය කොටස් හා නරක්වූ මත්ස්‍ය කිලෝ 3000ට ආසන්න ප්‍රමාණය කසළ අංගනයේදී විනාශ කිරීම සිදුවිය.
මෙම නරක්වූ මසුන් කරවල සදහා රැගෙන යන බවත්, මත්ස්‍ය කොටස් සත්ත්ව ආහාර සැකසීමට ගෙන යමින් තිබූ බවද ප්‍රශ්ණ කිරීමේදී එහි රියදුරා ප්‍රකාශ කර තිබුණි.
සියල්ල විනාශ කිරීමෙන් පසු රියදුරා සහ කැබ් රථය දැඩි ලෙස අවවාද කරමින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මුදාහැරීමට කටයුතු කෙරුණි.
මෙම වැටලීම සදහා පුත්තලම නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂඛ එන්.සුරේෂ් මහතා සමග කේ.එම්.යූ.ජී.ඒ.එන්.බී. දිසානායක, ජී.එම්.ඩී.මනෝජ් යන මහජන සෞඛ්‍ය පරික්ෂඛ වරුන් එක්ව තිබුණි.
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ