කොල්ලුපිටිය ගාලු පාරේ ජේසිමා මහල් නිවාස සංකීර්ණයේ දී තරුණයෙකුගේ කකුලකට පිහියෙන් ඇන පස් වන මහලින් බිමට දමා ඝාතනය කළ බව කියන කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිවුදෙනෙක් අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි .
ඉකුත් 28 වැනි දින මෙලෙස ඝාතනයට ලක් වූයේ වාරිපොල ප්‍රදේශයේ පදිංචි අසේල මධුසංඛ (27)තරුණයෙකි .
එම මහල් නිවාසයේ නිවසක් කුලියට ගෙන අන්තර්ජාලය ඔස්සේ කාන්තාවන් මුදලට විකිණීමේ ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන ඝාතනයට ලක්වූ පුද්ගලයා මීට පෙර සම්බාහන මධ්‍යස්ථානයක එකට රැකියාව කළ සැකකාර කාන්තාව හා ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව මෙම ඝාතනය එම සැකකාර කාන්තාව විසින් මෙහෙයවා ඇතැයි පොලිසිය කියයි .
අදාළ ඝාතනය සිදු කිරීම සඳහා සැකකාරිය ඇයගේ අනියම් ස්වාමි පුරුෂයා සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තවත් පුද්ගලයින් දෙදෙනෙක් යොදවාගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි .
ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව එම සිද්ධිය වන අවස්ථාවේ දී එම නිවසේ සිටි ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ අනියම් බිරිඳ වන කාන්තාවගේ ගෙල බැඳි රන්මාලය කොල්ල කා ඇයට පිටතට ඒමට නොහැකි වන ලෙස දොර වසා සැකකරුවන් පිටවී ගොස් තිබූ බවත් පොලිසිය කියයි.
සැකකරුවන් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ජංගම දුරකථන රැගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තාව සිදුකළ පරීක්ෂණවලදී සැකකාරිය හා අනෙකුත් පුද්ගලයන් පෑලියගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය .
කොල්ල කන ලද රන්මාලය සැකකාරිය විසින් කිරිබත්ගොඩ ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට උකස්කර තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි .
සැකකාර කාන්තාව ගණිකා වෘත්තියේ යෙදීම මෙන්ම දැඩිව මත්ද්‍රව්‍යවලට යොමුවූ කාන්තාවක් බවත් සෙසු සැකකරුවන්ද තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව පොලිසිය කියයි.
සැකකාරිය හා සැකකරුවන් බදුල්ල පෑලියගොඩ හා කඩවත පදිංචිකරුවන්ය.