කර්මාන්ත අමාත්‍යාංශ විෂය පථයට අයත් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය විසින් පවත්වාගෙන යන පේෂකර්ම සහ ඇඟලුම් ක්ෂේත්රයට අයත් අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය සඳහා ගත යුතු ඉදිරි පියවරයන් පිළිබඳව විමසා බැලීම සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අද (24) රත්මලාන පිහිටි එම ආයතන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය ශ්‍රී ලංකාවේ පේෂකර්ම, ඇඟලුම් සහ පාවහන් කර්මාන්තයට අයත් මානව සම්පත් පුහුණු කිරීමේ ආයතන අතර ප්‍රමුඛතම ස්ථානයක පවතින අතර මේ වන විට ඊට අදාළ පූර්ණකාලීන හා අර්ධකාලීන පාඨමාලා 80ක් පමණ පවත්වාගෙන යනු ලබයි. ඒ අතර NVQ 4 මට්ටමේ පාඨමාලා 07ක් ද වේ.
සිය නිරීක්ෂණ චාරිකාව අවසානයේ අමාත්‍යවරයා අයතනයේ ඉහළ කළමනාකාරීත්වයෙන් විමසා සිටියේ, පේෂකර්ම හා ඇඟලුම් ක්ෂේත්රයේ උපාධි පිරිනැමීමට ආයතනයට මේ වන විට පවතින බාධා කවරේද? යන්න ය. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අය වැයෙන් සපුරා ගෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය සහිතව උපාධි පාඨමාලා ලබා දෙන ආයතනයක් බවට මෙම ආයතනය පත් කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගත යුතු බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ පර්යේෂණ හා අධ්‍යයන කටයුතු සිදු කරනු ලබන අංශ වන කෙඳි කැටීමේ අංශය, රෙදි ගෙතුම් අංශය, රෙදි විවීම් අංශය, බතික් සහ වර්ණ ගැන්වීම් අංශය, පාවහන් හා සම්භාණ්ඩ අංශය, ඇඟලුම් කර්මාන්ත අංශය, විලාසිතා අංශය, කාර්මික තාක්ෂණ අංශය සහ තත්ව පරීක්ෂණාගාරය මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය