කොරෝනා වසංගතයේදී ලෝකයේ දියුණුයි කියන රටවල් වැටෙද්දී අපේ කුඩා රට ඉහළට ඔසවන්න පුළුවන් වුණේ සෞඛ්‍ය සේවයේ සියලු දෙනාගේ සහයෝගය නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
තංගල්ල මූලික රෝහලේ “සෞභාග්‍යා සුව අරණ” වාට්ටුව සහ හෘද රෝග දැඩි සත්කාර ඒකකය අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත්කිරීම අද (6) සිදුකෙරිණි.
රුහුණු කරළිය සංවිධානයේ මූල්‍ය දායකත්වයෙන් රුපියල් ලක්ෂ 460ක වියදමින් මෙම ගොඩනැගිලි ඉදිකර තිබිණ.
එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
අපේ සෞඛ්‍ය සේවය ලෝකයා ඉදිරියේ ආඩම්බරයෙන් නැඟී සිටින්න පුළුවන් සෞඛ්‍ය සේවයක්. පසුගිය කොරෝනා වසංගත අවස්ථාවේදී දියුණුයි කියන රටවල් වැටෙද්දී අපේ වගේ කුඩා රටක් ඉහළට ඔසවන්න පුළුවන් වුණේ සෞඛ්‍ය සේවයට සම්බන්ධ සියලු දෙනාගේ සහයෝගය නිසායි.
ඔවුන්ගේ හැකියාව නිසායි. සමහර රටවල දහස පැනලා අදටත් මරණ වාර්තා වෙනවා. එහෙම අවස්ථාවක මෙය අපේ සෞඛ්‍ය සේවයේ වැදගත්කම තව තවත් ලෝකයට පෙන්වන්න පුළුවන් අවස්ථාවක් වී තිබෙනවා. ගමටම යන සෞඛ්‍ය සේවයක් ඉතුරු වී තිබෙන්නේ මම හිතන්නේ ලංකාවේ පමණයි. හැම ගමකම හැම කෙනෙකුටම ඉක්මනින් සම්බන්ධ වෙන්න පුළුවන් සෞඛ්‍ය සේවයක් තිබෙනවා. අපිට අපේ සෞඛ්‍ය සේවය පිළිබදව ආඩම්බර වෙන්න පුළුවන්. අපි ස්තූතිවන්ත වෙනවා සියලුම වෛද්‍ය සේවයටම. ඉහළ සිට පහළට සියලුම දෙනාව අපි අගයනවා යැයිද කීවේය.
අනිෂා මානගේ