ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් නැවතත් වගකීමෙන් තොර ප්‍රකාශයක් සිදුකරමින් නව කොරෝනා වෛරසය පහව යමින් තිබෙන බව පවසා ඇතත්, ඔහුගේ එම අදහස සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොතිබේ.
එමෙන්ම ළඟ පෙනෙන ක්ෂිතිජයේ වෛරසය සඳහා ඖෂධයක් පවා තිබෙන්නට පුළුවන් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
දැන් ජනතාවට හා පාරිභෝගිකයන්ට එදිනෙදා කටයුතුවලට නැවත ගමන් කිරීම පහසු යැයි හැඟීම ජනිත කරමින්, ජනාධිපතිවරයා තමාගේ ජනප්‍රියතම වාක්‍ය කණ්ඩයක් යළි පුනරුච්චාරණය කරමින් පවසා සිටියේ වෛරසය පහව යන බවයි.
එසේම වෛරසය සුව කිරීමේ හැකියාව ගැන ට්‍රම්ප්ගේ හැඟීම වූයේ, "එය වැඩි දුරක් නොවනු ඇති" යනුවෙනි.
ට්‍රම්ප් මෙවැනි වගකීමෙන් තොර හෝ සාක්ෂි සහිතව සනාථ කළ නොහැකි අදහස් බොහෝ ඉදිරිපත් කර තිබුණත්, ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ලොව පුරා බොහෝ විද්‍යාඥයන් වෛරසය සඳහා චිකිත්සාව, එන්නත් සහ විභව ප්‍රතිකාර සඳහා අද හෙට හෝ නුදුරු අනාගතයේ බලාපොරොත්තුවක් තැබිය හැකි බව ප්‍රකාශ කර නැත.
එමෙන්ම මේ කිසිවෙකුත් වෛරසය අවසන් වන්නේ කවදාද, වෛරසය තවදුරටත් තර්ජනයක් නොවන්නේ කවදාද, එය සම්පූර්ණයෙන්ම අතුරුදන් වෙයිද ආදී කිසිවක් ගැන නිශ්චිත තොරතුරක් තවමත් නොදනී.
වෛරස් පිළිබඳ ඇතැම් විශේෂඥයන් පවසා ඇත්තේ අවම වශයෙන් මෙම වෛරසය සෑම වසරකම මිනිසුන් රෝගාතුර කරන වෛරස් මිශ්‍රණයට ඇතුළු වීමටද ඉඩ ඇති බවය. එවැනි පසුබිමක 'මාස්ක් හීනමානය' නිසා මුඛ ආවරණයක් හෝ නොපළඳින ට්‍රම්ප්ගේ වගකීමෙන් තොර හැසිරීම හා වචන භාවිතය විසින් ඔහු ජනතාවට දෙන ආදර්ශය, අද ඇමෙරිකාවට තමන්ගේම වළ කපාගැනීමට පාර කපා තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිත අගය මේ වනවිට වාර්තා වන්නේ 1,745,636ක් ලෙසිනි. එරට සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 102,798කි.