රෝගය සම්බන්ධයෙන් සැක රෝගීන් 6දෙනෙකු කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබාගන්නවා
දෙදෙනෙකුට වෛරසය වැළඳී නොමැති බවට මූලික පරීක්ෂණ වලදී තහවුරුවෙයි, අවසන් නිගමනය අද
චීනයේ වුහාන් නගරයේ හෝ රෝගය පැතිරයන රටවල සිට පැමිණි අය සති 2ක කාලය තුළ රෝග ලක්ෂණ තිබෙනවා නම් වෛද්‍යවරයෙකු හමුවන්න
- ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර
ඉන්දික හේවාවිතාරණ
කොරෝනා වෛරසය පැතිර යන රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් කොරෝනා වෛරසය ශරීරගත වීම පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
රෝගය පැතිර යන රටවල සිට පැමිණෙන පිරිස්වලට අධික උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ශ්වසන අපහසුතා තිබේ නම්, ළඟම රෝහලට ගොස් ප්‍රතිකාර ලබාගන්නා ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා පවසා සිටියේය.
කොරෝනා වෛරසය අලුත් වෛරසයක් වන බැවින් ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට පහසුකම් තිබෙන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ බවත්, රෝග ලක්ෂණ තිබෙන පිරිස් රෝහල්වලට ඇතුළත් වූ පසු ඊට අදාළ කටයුතු රෝහල් මගින් සිදුකරන බවත් වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.
මීට අමතරව රෝග ලක්ෂණ තිබෙන පිරිස් ප්‍රතිකාර කටයුතු සඳහා කොළඹ අංගොඩ පිහිටි ජාතික උණ රෝහල වෙත යොමු කරන බවද හෙතෙම පැවසීය.
විදේශ රටවල සිට පැමිණෙන පිරිස් කටුනායක ගුවන්තොටුපොළ තුළදී පරීක්ෂා කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවත්, මෙම රෝගයට අදාළ ඖෂධ පිළිබඳ අත්හදා බලමින් යන බවත් පවසා සිටි වෛද්‍යවරයා, වෛරස් රෝගවලදී ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණයට බාධා කරන බවත්, මේ නිසා ඊට අදාළ ප්‍රතිකාර කටයුතු හා අතුරු ආබාධ ඇති වුවහොත් ඊට අදාළ ප්‍රතිකාර ලබාදෙන බවත් සඳහන් කර සිටියේය.
අංගොඩ උණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් තිදෙනෙකුගේ සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා යොමුකළ බවත්, ඉන් දෙදෙනෙකුගේ මූලික පරීක්ෂණ ඊයේ (26දා) සවස ලැබුණ බවත් තවත් අයෙකුගේ සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති බවත් ඒ මහතා පැවසීය.
එහිදී මෙම පුද්ගලයන් දෙදෙනාට වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වූ බවත්, එහෙත් අද (27දා) දිනයේදී සවිස්තර වාර්තාවක් එළිදක්වන බවත් වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.
එසේම ශ්වසනාබාධ රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් රෝගියාගේ ගමන් බිමන් පිළිබඳ විස්තරයක් ලබා ගන්නා බවද වෛද්‍යවරයා පැවසීය.
අධික ලෙස ජනතාව ගැවසෙන ස්ථානවල සිටීමෙන් වැළකන ලෙසත්, සෑම විටම අත්පිරිසුදුව තබාගන්නා ලෙසත්, කැස්ස හා කිවිසුම් යන විට ටිෂූ හෝ ලේන්සුවක් භාවිත කරන ලෙසත්, සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන පිරිස් මුඛ ආවරණ භාවිත කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම චීනයේ වුහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනමින් ලංකාවට ගෙන්වා ගැනීමට රජය වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවද වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේය.
වෛරසය ශරීරගත වූ පසු රෝග ලක්ෂණ මතුවීමට සති දෙකකට ආසන්න කාලයක් ගතවන බවත්, මේ නිසා චීනයේ වුහාන් නගරයේ සිට හෝ රෝගය පැතිරයන රටවල සිට පැමිණි පිරිස්වලට සති දෙකක කාලය තුළ උණ හෝ අනෙකුත් රෝග ලක්ෂණ තිබෙනවා නම් වෛද්‍යවරයෙකු හමුවන ලෙසත් ඉල්ලා සිටින බවද වෛද්‍යවරයා පැවසීය.
මුඛ ආවරණ පැලඳිය යුත්තේ සෙම්ප්‍රතිශ්‍යාව පවතින පිරිස් පමණක් බවත්, අදාළ රෝගය සම්බන්ධයෙන් සැකකරන රෝගීන් හතර දෙනෙකු කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා බවත් පවසා සිටි හෙතෙම, ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරන බවද පවසා සිටියේය.
මෙම හතර දෙනාගෙන් දෙදෙනෙකු සංචාරයක් සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු බවත්, අනෙක් දෙදෙනා ලංකිකයන් වන බවත් පවසා සිටි වෛද්‍යවරයා, එක් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු වුහාන් නගරයේ ඉගෙනුම ලබන බවද පෙන්වාදුන්නේය.
මීට අමතරව නව කොරෝනා වෛරසය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකු පැතිර යා හැකි බවත්, මෙම රෝගය ලංකාවට පැතිර යාමේ අවදානමක් තිබෙන නිසා ගුවන්තොටුපොළවල ඊට අවශ්‍ය සූදානම් කිරීම් සිදුකර තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ගුවන් මගීන්ට ගුවන්යානා තුළදීම රෝගය පිළිබඳ දැනුවත් කිරීම ක්‍රියාත්මක කරන බවත්, ගුවන් මගීන් පරීක්ෂා කිරීමද සිදුකරන බවත් එම නිවේදනය මගින් පෙන්වාදී ඇත.
එසේම මෙම රෝගයෙන් ජනතාව බේරාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජනතාව පිළිපැදිය යුතු කරුණු කිහිපයක් එළිදක්වා තිබේ.
එනම් ජනාකීර්ණ තැන්වල ගැවසීමෙන් වැළකීම, නිතර නිතර සබන් හෝ ඇල්කොහොල් සහිත පිරිසුදු කාරක යොදා අත්සේදීම, කැස්ස ඇති වනවිට සහ කිවිසුම් යනවිට ටිෂූ හෝ ලේන්සුවක් භාවිත කිරීම, එසේ නොමැතිනම් වැලමිට දෙසට කිවිසුම් පිටකිරීම, උණ කැස්ස සහිත අය සමීප ආශ්‍රය කිරීමෙන් වළකින ලෙසයි.