කොරෝනා වෛරසය කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණිම සම්පුර්ණයෙන්ම පාලනය කර ඇතැයි ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම් සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා අවධාරනය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් ගත හැකි සෑම පියවරක්ම කටුනායක ගුවන්තොටුපල මගින් ගෙන ඇති බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ විෂය භාර ඇමති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලන බවත් ඔවුන්ගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අංශවලද සහාය ඇතිව කොරෝනා වෛරසය දිවයිනට පැමිණිම පාලනය කිරීමට පියවර ගෙන ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.
කොරෝනා වෛරසය දිවයිනට පැමිණිම වැලැක්විම සදහා කටුනායක ගුවන්තොටුපල මගින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද (30) පැවති මාධ්‍ය සාකච්ඡාවේදි සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා ,
“පසුගිය ජනවාරි 26 වන දින සිට මේ දක්වා කටුනායක ගුවන්තොටුපලට ගුවන් මගීන් 4,028 දෙනෙකු පැමිණ තිබෙනවා. ඉන් 323ක් ශ්‍රී ලංකිකයන් .ඒ වගේම චීන ජාතිකයින් 1,936ක් දිවයිනට පැමිණියා. අපි චීනයේ ගුවන්තොටුපල වල පැමිණෙන මගින්ට වෙනම විශේෂ පිටවීමේ ප්‍රදේශයක් ගුවන්තොටුපල තුළ වෙන් කර තිබෙනවා. එම ස්ථානයේ තර්මෝ ස්කෑනර් දෙකක් යොදා කොරෝනා වෛරසය වැළදි ඇති පුද්ගලයෙකු රටට එනවාදැයි පරික්ෂා කරනවා. ඒ වගේම ඔවුන් සමග වෛද්‍යවරුන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද සාකච්ඡා කරනවා. ගුවන්තොටුපලට එන සෙසු මගින්ගේ පරික්ෂාව වෙනම ස්ථානයක සිදුවනවා. එම ස්ථානයෙත් තර්මෝ ස්කෑනර් යන්ත්‍ර 02 ක් යොදා තිබෙනවා.
පසුගිය දින කිහිපය තුළ අපට හමුවුයේ ගුවන්තොටුපලින් පැමිණි සැක කටයුතු රෝගීන් 04 දෙනෙකු පමණයි ඔවුන් 04 දෙනාටත් කොරෝනා වෛරසය වැලදී නොමැති බව තහවුරු වුනා. කෙසේ වෙතත් චීන ජාතිකයින් මේ වන විට දිවයිනට පැමිණීම අවම වි තිබෙනවා. මෙවැනි තත්ත්වයකදි ලෝකයේ දියුණුම ගුවන්තොටුපල වල ක්‍රියාත්මක වන ක්රමවේදයයි අප අනුගමනය කරන්නේ.
සෞඛ්‍ය අමාත්‍යංශය වගේම යුධ හමුදා වෛද්‍ය වරුන්ගේද සහාය ඇතිව ගුවන්තොටුපල සේවකයින් පැය 24 පුරාම මේ පරික්ෂා කිරීම සිදු කරනවා. ගුවන් මගීන් හැර කිසිවෙකුට මේ පර්යන්තයට ඇතුලු වීමට අපි ඉඩ දෙන්නේ නැහැ. මේ එන අයත් අපි දැඩි ලෙස පරික්ෂාවට ලක් කරනවා. කොරෝනා වෛරසය පාලනය වන තුරුම අප මේ වැඩපිළිවෙල ඉදිරියටම ක්‍රියාත්මක කරනවා.
මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට අප විශේෂ පත්‍රිකාවක් දෙනවා. විශේෂයෙන්ම මේ අයගේ සෞඛ්‍ය තත්ත්වය වගේ තොරතුරු අප ඒ මගින් ලබා ගන්නවා. වෛද්‍යවරුන් කීවේ කොරෝනා වෛරසය කිසිවෙකුට වැළදුනහොත් දින 14 ක් තුල ඒ ලක්ෂණ පෙන්නුම් කරන බවයි. ඒ නිසා අප සෞඛ්‍ය අංශ සමග එකතුවෙලා ගුවන්තොටුපලින් දිවයිනට එන සෑම කෙනෙකු පිළිබදවම පසුවිපරමක් සිදු කරනවා. ගුවන් තොටුපලින් පිටව ගියත් සෞඛ්‍ය අංශ ඒ අය ගැන අවධානයෙන් ඉන්නවා ඒ නිසා බියක් ඇති කර ගත යුතු නැ.
චීනයේ සිට පැමිණෙන කිසිදු ශ්‍රී ලංකිකයෙකු මේ ආසාධනයට ලක්ව තිබුනේ නැහැ. ඒ වගේම චීනයේ ප්‍රධාන නගරයේ සිටින ශ්‍රී ලංකික සිසුන් විශේෂ ගුවන්යානයක් මගින් මෙරටට පැමිණියාම ඔවුන් දියතලාව සෞඛ්‍ය කඳවුරට ගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. ඔවුන් ගෙනයනතුරු අප විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙලක්ද අප මේ වන විටත් සැලසුම් කර අවසන්
උපසභාපති රජීව සුරියආරච්චි මහතා,
කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රය මේ වනවිට ආරක්ෂිතයි. අපි අනියත බියක් ඇති කරගත යුතු නෑ. ගුවන්තොටුපල මගීන්ට මුහුණු ආවරණ අවශ්‍යනම් එයත් අප ලබා දීමට සැලැසුම් කර තිබෙනවා. ඒ වගේම ගුවන් තොටුපල තුළ අප ශ්‍රී ලංකිකයෙකුගේම හඳුන්වා දීමක් අනුව වාතය පිරිසිදු කිරීමේ උපකරණ සවි කර තිබෙනවා. ඒ නිසා ගුවන්තොටුපල තුල වාතය නිතර පිරිසිදුයි. අපි කියන්නේ අනියත බියක් ඇති කරගන්න එපා කියලයි”.