ඉන්දියාවේ බටහිර බෙංගාලයට දැඩි හානි සිදුකළ අම්ෆාන් සුළි කුණාටුවෙන් පසුව කඩිනම් සහන බලාපොරොත්තුවෙන් ජනතා විරෝධයක් පැන නැගුණු අවස්ථාවේදී, තමාට බෙල්ල කපා ගන්නවාට වඩා වැඩි යමක් මේ මොහොතේ ක්ෂණිකව කළ නොහැකි බව ප්‍රාන්තයේ මහ ඇමතිනිය කියා සිටියාය.
ඉන්දියාවට හා බංග්ලාදේශයට බලපෑ අම්ෆාන් සුළි කුණාටුවෙන් විශාලතම හානිය සිදුවූ ප්‍රාන්තය ලෙස ඉන්දියාවේ බටහිර බෙංගාලය සැලකෙයි. එහිදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මහ ඇමතිනී මමර්තා බැනර්ජී විසින් විදුලිය හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවා යථා තත්ත්වයට පත් කිරීමට වැඩි කාලයක් අවශ්‍යය බව ජනතාවට කීවාය.
"ව්‍යසනයෙන් දින දෙකක් ගතවී තිබෙනවා. අපි සියල්ලෝම දිවා රෑ වැඩ කරමින් සිටිනවා. කරුණාකර ඉවසිලිවන්ත වන්න. හැකි ඉක්මනින් සියල්ල යථා තත්වයට පත් කිරීමට අප උත්සාහ කරනවා"
"එහෙම නැතිනම් ඉක්මනට මට කරන්න තියෙන්නෙ බෙල්ල කපාගන්න එක විතරයි" මහජන අමනාපය වැඩි කිරීම ගැන ඇසූ විට බැනර්ජි මහත්මිය පැවසුවාය.
මේ අතර විනාශයට පත් දේපොළ පිළිසකර කිරීම හා සහන සැලසීමට හමුදාව යොදවා ඇති බව ඉන්දීය මධ්‍යම රජය කියයි. බටහිර බෙංගාල ප්‍රාන්තයේ අගනුවර වන කොල්කටා සහ බලපෑමට ලක්වූ වෙරළබඩ දිස්ත්‍රික්කවලට ලක්ෂ සංඛ්‍යාත ජනතාව විදුලිය හා පානීය ජල සැපයුම නොමැතිව සිටියහ.
විනාශකාරී සුළි කුණාටුවෙන් පසු විදුලිබල කප්පාදුවට හා ගංවතුරට රජය දක්වන මන්දගාමී ප්‍රතිචාරය ගැන සිය ගණනක් විරෝධය පළ කරමින් සිය ගණනක් කොල්කටාහි සහ අවට විවිධ ස්ථානවල වීදි බැස සිටියහ.
ඇම්ෆාන් සුළි කුණාටුව බදාදා වේගවත් සුළං සහ ධාරානිපාත වර්ෂාව සමග ගොඩබෑමට කඩා වැදුණු අතර, ඉන් නිවාස භෝග විනාශය, ගස් මුලිනුපුටා දැමීම, විශාල ඉඩම් ප්‍රමාණයක් ජලයෙන් යටවීම සහ දෙරටේ විදුලිය, ජල සැපයුම සහ සන්නිවේදන මාර්ග බිඳ වැටීම දැකිය හැකි විය.
බටහිර බෙංගාල ප්‍රාන්තය ඇතුළු ඉන්දියාව පුරා මරණ 86ක් සහ බංග්ලාදේශයේ 15ක් වාර්තා වී ඇත.
සුළි කුණාටුවට අමතරව ඉන්දියාව සහ බංග්ලාදේශය යන දෙරටම කොරෝනා වසංගතයෙන්ද පීඩා විඳින අතර, අද මේ වනවි ඉන්දියාවෙන් කොවිඩ්-19 ආසාදිතයන් 131,423ක් වාර්තා වෙයි. ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 3,868කි. පසුගිය පැය 24 තුළ ඉන්දියාව විසින් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 6,767ක් වාර්තා කර ඇති අතර එය මෙතෙක් වාර්තා වී ඇති විශාලතම එක්දින ආසාදිතයන් සංඛ්‍යාව බව සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය පවසයි. එමෙන්ම බංග්ලාදේශයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 32,078ක් වන අතර, කොරෝනා මරණ සංඛ්‍යාව 452කි.