කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදී ඇති ස්ථාන මාරුව දෙවරක්ම ප්‍රතික්ෂේප කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ ධූරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් අද (13දා) පෙරවරුවේ වෛද්‍ය වීරබණ්ඩාර මහතාට රාජකාරියට වාර්තා කිරීමට ඉඩ නොදී රෝහල ඉදිරිපිටට රැස්වී විරෝධතාවයක නිරත වූහ.
කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් විශාල පිරිසක් රෝහල් අධ්යක්ෂවරයාගේ කාර්යාලයට පිවිසෙන මාර්ගය අවහිර කරමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් මෙම විරෝධතාවයෙහි නිරත වූහ.
කාර්යාලයට යාමට පැමිණි වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා මෙම විරෝධය හේතුවෙන් රෝහල් භූමියට ඇතුළු වීමට නොහැකිව රෝහල ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටින ආකාරය දැකගත හැකිවිය.
රෝහල් අධ්යක්ෂවරයා භාවිතා කරන කාර්යාල කාමරයද කිසිවෙකුට ඇතුළු වීමට නොහැකි ආකාරයට අළුතින් ඉබි යතුරු දමා වසා තිබූ බවද වාර්තා විය. මෙම විරෝධතාවය හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර සේවාවන්ටද දැඩි ලෙස බාධා එල්ලවී තිබේ .
කොරෝනා වසංගතය මර්ධනය කිරීම සදහා කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ ක්‍රමවත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරුකර තිබේ .
ඒ සම්බන්ධයෙන් වන පළමු ස්ථාන මාරුව පසුගිය 6 වන දිනත් , දෙවන ස්ථාන මාරුව ඊයේ (12) දිනයේත් ලැබී තිබුණද වෛද්‍ය වීරබණ්ඩාර මහතා එම ස්ථාන මාරුවීම් දෙකම ප්‍රතික්ෂේප කරමින් රජයේ නියෝග නොසලකමින් තවමත් නීති විරෝධි ආකාරයට රෝහල් අධ්යක්ෂ ධූරයේ රැඳී සිටින බව විරෝධතාවය මෙහෙයවූ කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු වෛද්‍ය ඉන්දික රත්නායක මහතා සඳහන් කළේය.
අමාත්‍යාංශ නියෝගයට ගරු කරමින් වහාම ධූරයෙන් ඉවත්ව යන ලෙසද වෛද්‍ය වීරබණ්ඩාර මහතා තව දුරටත් බලහත්කාරයෙන් රෝහල් අධ්යක්ෂ ධූරයේ රැඳී සිටියහොත් හෙට (14) සිට රෝහලේ සියළුම සේවා වලින් ඉවත් වන බවද ඔහු ප්‍රකාශ කළේය .
විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙම විරෝධතාවයෙහි නිරත වූහ.